හම්බන්තොට ජාත්‍යන්තර වරාය නව ගැන්ට්‍රි දොඹකර මෙහෙයුම් ආරම්භ කළ 2025 වසරේ සිට මේ දක්වා බහාලුම් ඒකක මිලියනයකට වැඩි ප්‍රමාණයක් හසුරුවා ඇති බව හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි.
එම සමාගම නිකුත් කළ නවතම නිවේදනයට අනුව, 2025 වසරේදී වරාය බහාලුම් ඒකක 428,036ක් හසුරුවා ඇති අතර, 2026 වසරේ මේ දක්වා බහාලුම් ඒකක 574,196ක් හසුරුවා ඇති බවද සඳහන් වේ.
ඒ අනුව වසර දෙකේහි එකතුව බහාලුම් ඒකක 1,002,232ක් දක්වා ඉහළ ගොස් ඇත.
හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී විල්සන් ක්ව් සඳහන් කර ඇත්තේ, මෙම කඩඉම හම්බන්තොට වරාය ප්‍රාදේශීය සහ ජාත්‍යන්තර වෙළෙඳාම සඳහා සේවා සපයන තරඟකාරී බහාලුම් වරායක් ලෙස සංවර්ධනය වෙමින් පවතින බවය.
නැව් සමාගම් සමඟ සමීපව කටයුතු කිරීම, මෙහෙයුම් විශ්වසනීයත්වය වැඩිදියුණු කිරීම සහ පාරිභෝගික අවශ්‍යතාවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීම මෙම වර්ධනයට හේතු වී ඇති බවද ඔහු සඳහන් කර තිබේ. එමෙන්ම ජූනි මාසයේදී වරායේ මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික බහාලුම් ප්‍රමාණය ලෙස බහාලුම් ඒකක 80,325ක් හසුරුවා තිබේ.
බහාලුම් මෙහෙයුම් ධාරිතාව තවදුරටත් පුළුල් කිරීම සඳහා නව දොඹකර, නැව් නැංගුරම් පහසුකම්, බහාලුම් අංගන සහ ශීතකරණ පහසුකම් ඇතුළු යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටින බවද හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහය පවසයි.