මගුල් ගේක සින්දු කීවොත් බද්දක් ගෙවන්න වෙනවාද – ඇමති විජිත හේරත් උත්තර දෙයි.

හෝටල්වල හෝ මංගල උත්සවවල ගීත ගායනා කිරීම සඳහා ගීත රචකයන්ට හෝ සංගීත නිර්මාණකරුවන්ට මුදල් ගෙවිය යුතු බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රචාරය පිළිබඳව විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් අදහස් දක්වයි .

එකී ප්‍රකාශය නොමගයවනා සුළු එකක් බවත්, තමා ශ්‍රී ලංකා සංගීත නිර්මාණකරුවන්ගේ සහ සංගීත ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) සමග මේ පිළිබඳව සාකච්චා කළ බවත් අමාත්‍ය්වරය සඳහන් කරයි . හෝටල් සහ මංගල උත්සව ආදියේ ගී ගැයූවද සංගීත අධ්‍යක්ෂක සහ පද රචකයාට කතෘ භාගය ගෙවිය යුතු නැති බවත්, එසේ ගෙවිය යුත්තේ මුදල් ලාභ අපේක්ෂාවෙන් සංගීත වැඩසටහනක් සංවිධානය කර ප්‍රවේශපත් අලෙවි කර ආදායමක් උපයන්නේ නම් පමණක් බවත්, එවැනි අවස්ථාවල එම ආදායමෙන් ගීත රචකයාට සහ සංගීත නිර්මාණකරුවාටද යම් කොටසක් හිමිවිය යුතු බව යයි අමාත්‍යවරයා පැවසීය .

ලෝකයේ පිළිගත් බුද්ධිමය දේපළ නීති මෙන්ම ශ්‍රී ලංකාවේද බුද්ධිමය දේපළ සම්බන්ධයෙන් නීති පවතින බවත්, ඒ අනුව ගීත රචකයන් සහ සංගීත නිර්මාණකරුවන්ට තම නිර්මාණවල වටිනාකමට අදාළ ප්‍රතිලාභ ලබාගැනීමේ අයිතිය පවතින බව පැවසූ අමාත්‍යවරයා හෝටලයක, මංගල උත්සවයක හෝ වෙනත් උත්සව අවස්ථාවක ගීතයක් ගායනා කිරීම හේතුවෙන් අනිවාර්යයෙන්ම මුදල් ගෙවිය යුතු බවට නීතියක් නොමැති බව අවධාරණය කළේය .