හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂට ලබා දී ඇති සහන කාලය අවසන් වීමට පෙර ඇය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) හමුවේ පෙනීසිටීමට අපොහොසත් වුවහොත්, ඇයට එරෙහිව විදේශ ගමන් තහනමක් ලබාගැනීමට මහජන ආරක්ෂක අමාත්‍යාංශය සූදානමින් පසුවන බව වාර්තා වේ .
වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා විදෙස් ගතව සිටිනා ඇය තමා සභාපතිත්වය දැරූ ‘සිරිලිය’ පදනම සම්බන්ධයෙන් FCIDය වෙත ප්‍රකාශයක් ලබාදීම සඳහා දින 14ක කාලයක් ඉල්ලා තිබේ. නියමිත වේලාවට ඇය පෙනීසිටීමට අපොහොසත් වුවහොත් පොලීසිය විසින් විදේශ ගමන් තහනමක් ඉල්ලා සිටින බව අමාත්‍යාංශ ආරංචි මාර්ග පවසයි. එමගින් ඇය ගුවන්තොටුපළට පැමිණි වහාම අත්අඩංගුවට ගැනීමට පවා ඉඩ තිබේ.
ශිරන්ති රාජපක්ෂ සැප්තැම්බර් 16 වැනි දින සිංගප්පූරුව බලා පිටත්ව ගිය අතර සැප්තැම්බර් 24 වන දින FCID ය හමුවේ පෙනීසිටිය යුතු බවට වන නිවේදනයක් ගුවන්තොටුපළේදී FCID නිලධාරීන් විසින් ඇය වෙත භාර දී ඇත.
ශිරන්ති රාජපක්ෂ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගොස් ඇති බැවින් ඇය පෙරළා පැමිණෙන දිනය වෛද්‍ය අවශ්‍යතා මත තීරණය වන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ ප්‍රකාශකයෙක් මාධ්‍යට පවසා ඇත .