තිලීපන්ගේ ස්මාරකය ඉවත් කිරීමට පෙර අධිකරණයට කරුණු වාර්තා කළා . ඇමති නලින්ද කියයි .

යාපනය, නල්ලූර්හි පිහිටි තිලීපන් ස්මාරක පරිශ්‍රයේ තැන්පත් කර තිබූ රාසයියා පාර්තිපන් නොහොත් තිලීපන්ගේ ප්‍රතිමාව එම ස්ථානයෙන් ඉවත් කර ඇත්තේ අදාළ ප්‍රදේශයේ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව බව රජයේ මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .

විද්‍යුත් මාධ්‍ය සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අදහස් දක්වූ ඔහු සඳහන් කරන ලද්දේ, පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති අතර එම ප්‍රතිමාව සම්බන්ධයෙන් මේ වන විට අධිකරණය හමුවේ නඩු කටයුත්තක් විභාග වෙමින් පවතින බවයි.

පසුගිය වසරවල සැප්තැම්බර් මාසයේ පැවැත්වෙන තිලීපන්ගේ ගුණසමරු උත්සව සඳහා ඔහුගේ ඡායාරූප පමණක් භාවිත කළ බවත්, ප්‍රතිමාවක් ස්ථාපනය කර සමරුව පැවැත්වූ පළමු අවස්ථාව මෙය බව අමාත්‍යවරයා එහිදී පැවසීය .

LTTE සංවිධානය තහනම් කරන ලද සංවිධානයක් වන අතර රටේ නීතිය අනුව තහනම් සංවිධානයක කොඩි, ලාංඡන ඇතුළු ඒවා ප්‍රවර්ධනය කිරීමට කිසිදු ඉඩක් නොමැති බවත්, එවැනි ක්‍රියාකාරකම්වලට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත්, ප්‍රතිමාව ඉවත්කිරීමට පෙර පොලිසිය විසින් අධිකරණයට කරුණු වාර්තා කර ඇති බවත්, මේ සම්බන්ධයෙන් සිදුවන නඩුව අධිකරණය හමුවේ විමර්ශනය වෙමින් පවතින බවත් ඔහු තව දුරටත් පැහැදිලි කළේය.

රට තුළ විටින් විට වාර්ගික ආතතීන් ඇතිකිරීමට විවිධ පාර්ශ්ව උත්සාහ දරන නමුත්, රජය එවැනි ක්‍රියාවන් කිසිසේත් ඉවසා නොසිටින බව අමාත්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේය .

තිලීපන්ගේ 39 වැනි සැමරුම් උත්සවය නිමවීමෙන් දිනකට පසුව, 27 වන ඉරිදා පොලිසිය විසින් මෙම ප්‍රතිමාව ඉවත්කිරිම සිදුකර ඇත.