මහ වැසි නිසා මහවැලි ගඟ අවට ගංවතුර අවදානමක් .

ඊයේ රාත්‍රිය පුරා දිවයිනේ බොහෝ පළාත්වලට තද වැසි ඇතිවීමත් සමග මහවැලි ගඟ අවට පහත්බිම් සඳහා සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අනතුරු අඟවා ඇත .

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ අධික වර්ෂාපතනයක් ලැබීම හේතුවෙන් මෙලෙස සුළු ගංවතුර තර්ජනයක අනතුර හටගෙන ඇතිබවය .

මේ හේතුවෙන් පස්බාගේ කොරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ අවට පහත්බිම් ප්‍රදේශවෙත සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි .

ඒ අනුව එම ප්‍රදේශවල වෙසෙන ජනතාවගෙන් හා ඒ හරහා වැටී ඇති මාර්ග භාවිත කරන රියදුරන්ගෙන් මේ පිළිබඳව දැඩි සැලකිල්ලෙන් යුතුව කටයුතු කරන මෙන් එම දෙපාර්තමේන්තුව දැනුම්දී ඇත.