ගමපහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනයට ආණ්ඩුවෙන් මිලියන 10 ක්

42 වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව ඉස්ලාමීය ආගමික ස්ථාන නගා සිටවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය කටයුතු කරමින් සිටී . මෙම වැඩසටහන යටතේ ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම් දේවස්ථාන සංවර්ධනය කිරීම සඳහා පමණක් රජය මගින් රුපියල් මිලියන 10 ක ප්‍රතිපාදන ලබාදී ඇති බව එම අමාත්‍යංශය පවසයි.

මීට අමතරව 42 වෙනි ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවයට සමගාමීව “Welcome to Our Mosque” සංහිඳියා වැඩසටහනක් ද සංවිධාන කර තිබේ. එම වැඩසටහන යටතේ අන්‍ය ආගමික ජනතාවට මුස්ලිම් දේවස්ථානයක අභ්‍යන්තර සංස්කෘතිය, ඉතිහාසය සහ ආගමික වතාවත් දැකබලා ගැනීමේ අවස්ථාව උදාවනු ඇත.

මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබනා සංචාරක සහ විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් ඉල්ලා සිටියේ, අන්‍යෝන්‍ය අවබෝධය, ගෞරවය හා සුහදතාව වර්ධනය කරගනිමින් එකමුතු ශ්‍රී ලංකාවක් ගොඩනැගීමේ සංහිඳියා පාලමක් ගොඩනැගීම සඳහා සියලු දෙනාට එක්වන ලෙසටය. අගෝස්තු මස 24 වෙනිදා පෙරවරු 09.30 සිට පෙරියමුල්ල ජුම්මා මස්ජිදය සහ මීගමුව මුස්ලිම් පල්ලිය සැමට විවෘත බව එම සටහනේ වැඩිදුරටත් දක්වා ඇත.