සශී වීරවංශ ඇපමත උදාහරී .

අවිධිමත් ආකාරයකින් විදේශ ගමන් බලපත්‍රයක් ලබාගැනීම සම්බන්ධයෙන් ආගමන හා විගමන පනත යටතේ වරදකරු වී සිර දඬුවම් නියම වී සිටින ශෂී වීරවංශ පෙර ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (20) නියෝග කළේය.

එම නඩුවේ තීන්දුව කියවාදීම සඳහා නඩුකරය ඊයේ කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම නියෝගය නිකුත් කර තිබේ.

ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේ, ආගමන හා විගමන පනත යටතේ වූ චෝදනාවලට වරදකරු වීමෙන් අනතුරුව 2022 වසරේදී ඇයට වසර දෙකක සිර දඬුවමක් සහ රුපියල් ලක්ෂයක දඩයක් නියම කර තිබූ බවයි. එම දඬුවමට එරෙහිව ඇය ඉදිරිපත් කළ අභියාචනයක් කොළඹ මහාධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබූ බවද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සඳහන් කළේය.

කෙසේ වෙතත්, ශෂී වීරවංශ මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ මහාධිකරණ තීන්දුවට එරෙහිව තම සේවාදායිකාව ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර ඇති බවයි. එබැවින් තම සේවාදායිකාව පෙර ඇප මත මුදාහරින ලෙසද නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

ඒ අනුව, මහාධිකරණ තීන්දුවට එරෙහිව දින 42 ක් තුළ ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කිරීමට විත්තිකාරියට හිමි අයිතිය අනුව ඇය එම අභියාචනය ඉදිරිපත් කර ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමට යටත්ව ශෂී වීරවංශ පෙර ඇප මත මුදාහැරීමට ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය. සැප්තැම්බර් 27 වැනිදා නඩුව යළි කැඳවිමට නියමිතය .