නන්දා මාලනීය සමුගනී .

ප්‍රවීණ ගායන ශිල්පිනී විශාරද නන්දා මාලනී නාවල සිය නිවසේදී අභාවප්‍රාප්ත වී තිබේ . මියයන විට ඇය 82 හැවිරිදි වියේ පසුවූ ඇය 1943 අගෝස්තු 23 වැනිදා අලුත්ගම, ලෙවන්දූව ප්‍රදේශයේදී උපත ලැබූවාය .

කුඩා කල සිටම සිය ගායන හැකියාවන් ප්‍රදර්ශනය කළ ඇය නව යොවුන් වියේදී කොළඹ කොටහේන ප්‍රදේශයට පැමිණි ඇය ශ්‍රී ගුණානන්ද විද්‍යාලයට ඇතුළත් වූ අතර, කරුණාරත්න අබේසේකර මෙහෙයවූ එවකට ජනප්‍රිය ගුවන්විදුලි වැඩසටහනක් වූ “ළමා මණ්ඩපය” ඔස්සේ සිය ගායන කුසළතා ඔප්නංවා ගත්තාය.

1961 වසරේ නිෂ්පාදනය ආරම්භ කළ පණ්ඩිත් ඩබ්ලිව්. ඩී. අමරදේවයන් විසින් සංගීත අධ්‍යක්ෂණය සිදුකරන ලද “රන්මුතු දූව” චිත්‍රපටයේ නාරද දිසාසේකර සමඟ යුග ගීයක් ගායනා කිරීමට නන්දා මාලනීයට අවස්ථාව හිමිවිය. ඇය සිය පළමු චිත්‍රපට ගීතය ලෙස “ගලන ගඟකි ජීවිතේ” ගීතය ගායනා කළ අතර, එය අතිශය ජනප්‍රියත්වයට පත්විය.

ඉන් අනතුරුව පණ්ඩිත් අමරදේවයන්ගේ “මධුවන්ති” වැනි ජනප්‍රිය සංගීත වැඩසටහන් සඳහාද ඇය සහභාගී වූ අතර, “සන්නාලියනේ” සහ “රන් දහදිය බින්දු බින්දු” ඇතුළු ගීත හරහා සිය ගායන හැකියාව තවදුරටත් ප්‍රකට කළාය.

දශක ගණනාවක් පුරා ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයේ කළ මෙහෙවර වෙනුවෙන් නන්දා මාලනී මහත්මිය සම්මාන රැසකින් පිදුම් ලබා තිබේ.