චෙම්මිනි සමූහ මිනී වල ගැන ආණ්ඩුවෙන් ප්‍රකාශයක්

චෙම්මනි සමූහ මිනීවලෙන් හමු වූ අස්ථි සැකිලි සංඛ්‍යාව 565 දක්වා ඉහළ ගොස් ඇති ඇතිබවත්, එම කැණීම් සම්බන්ධයෙන් ඉදිරි නීතිමය පියවර අධිකරණ නියෝගවලට අනුකූලව ගන්නා බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .

විමර්ශනවල ප්‍රගතිය පිළිබඳව ජනමාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඔහු පැවසුවේ, සඳුදා (17) දිනයේදී තවත් අස්ථි සැකිලි 8 ක් සහ එක් අස්ථි කොටසක් සොයාගත් බවයි. ඒ අනුව මෙතෙක් හමු වූ සමස්ත අස්ථි සැකිලි සංඛ්‍යාව 565 ක් වන අතර, ඊට අමතරව වෙනත් අස්ථි කොටස් 45ක්ද හමු වී ඇතිබව අමාත්‍යවරයා පැවසීය .

එමෙන්ම, කැණීම් භූමියෙන් නිකුත් වූ ඡායාරූපවලින් වින්දිතයන් ඉතා අමානුෂික ලෙස ඝාතනය කර ඇඳුම් පැළඳුම් පවා නොමැතිව වළදමා ඇති බවට සාක්ෂි පෙන්නුම් කරන බව පවසමින් ජනමාධ්‍යවේදීහු රජයෙන් ප්‍රශ්න කර සිටියහ.

තවත් මළසිරුරු වළදමා ඇති ස්ථාන හඳුනාගත හැකි බවට ප්‍රකාශ කර ඇති, වරදකරු කරනු ලැබූ හිටපු ලාන්ස් කෝප්‍රල් සෝමරත්න රාජපක්ෂගෙන් තොරතුරු ලබාගැනීමට බලධාරීන් පියවර නොගත්තේ මන්දැයි ද මෙහිදී අමාත්‍යවරයාගෙන් විමසා සිටින ලදී.

විමර්ශන සිදුවන වේගය පිළිබඳව නැඟුණු කංචාවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියාසිටියේ, අධිකරණ නියෝගවලට අනුකූලව ඉදිරි පියවර ගන්නා බවත්, සුදුසු වේලාවට සාක්ෂිකරුවන් කැඳවන බවත්ය.