හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට අධි චෝදනා

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන දෙදෙනාට එරෙහිව අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත .

ඒ 2006 වසරේ සැප්තැම්බර් මස 01 වනදා සහ 2007 වසරේ ජූනි මස 08 වනදා අතර කාලසීමාව තුළ ශ්‍රි ලංකා නාවික හමුදාවේ හමුදාපති වශයෙන් කටයුතු කරමින් සිටි වසන්ත කරාන්නාගොඩ විසින්, යෝෂිත රාජපක්ෂ නමැත්තා එවකට පැවති නීතියට පටහැනිව බ්‍රිතාන්‍යයේ රාජකීය නාවික හමුදා පුහුණු විද්‍යාලයේ Royal navy young officers course පාඨමාලාව සඳහා සහභාගී කරමීම සම්බන්ධයෙනි . එම ක්‍රියාව මගින් රජයට පාඩුවක් සිදු කරන ලදැයි ඔහුට චෝදනා එල්ල කර ඇත .

ඊට අමතරව එම ක්‍රියාව තුළින් අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් අධි චෝදනා 08 ක් ඉදිරිපත්කර ඇත . එම චෝදනා භාරදීම සඳහා විත්තිකරුවන්ට ඉදිරියේදී අධිකරණය විසින් සිතාසි නිකුත් කිරීමට නියමිතය.