විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දිර්ඝ කිරීම ගැන ජාතික ජනබලවේගය තුළ සකච්චාකර නෑ.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට එරෙහි වීම සම්බන්ධයෙන් තමාට එරෙහිව විනය පියවර ගැනීමට ජාතික ජන බලවේගයට නීතිමය පදනමක් නොමැති බව එම පක්ෂයේ විධායක සභික, නීතීඥ ලාල් විජේනායක පවසයි.

මෙම ආන්දෝලනාත්මක යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කිසිදු කමිටුවක මෙතෙක් සාකච්ඡා කර නොමැති අතර පක්ෂය ඒ පිළිබඳව නිල තීරණයක් ද ගෙන නොමැති බව මාධ්‍යවෙත අදහස් දක්වමින් ඔහු පැවසීය .

ඒ අනුව පක්ෂයක් ලෙස තීරණයක් ගෙන නොමැති කරුණක් සම්බන්ධයෙන් අදහස් දැක්වීම පක්ෂ විනය උල්ලංඝනය කිරීමක් ලෙස සැලකිය නොහැකි බව නීතීඥ ලාල් විජේනායක පවසයි . එමෙන්ම තමා සිදුකරනුයේ රජයට එරෙහි සටනක් නොව අධිකරණයේ ස්වාධීනත්වය සුරැකීම වෙනුවෙන් සිදුකරන අරගලයක් බවද ඔහු පෙන්වාදෙයි .

“අධිකරණයේ ස්වාධීනත්වය නොමැති පරිසරයක කිසිදු නීතීඥවරයෙකුට සිය වෘත්තියේ නිරත වන්නට බෑ . නඩුවක තීන්දුව කුමක්දැයි කල්තියා දන්නා තත්ත්වයක් තුළ නීතීඥ වෘත්තිය පවත්වාගෙන යාම කළ නොහැක්කක්,” යැයි ද ඔහු පැවසීය.

විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව ඊයේ පැවැති ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීමට ද ලාල් විජේනායකද සහභාගී වී සිටියේය.