විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය මගින් යෝජනා කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සිය විරෝධය දක්වන ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) ඒ පිළිබඳව ජනාධිපති අනුර කුමාර දිසානායක සමග වැඩි දුරටත් සාකච්චා කිරීමට බලාපොරොත්තුවන බව පවසයි .
ඒ සඳහා වේලාවක් වෙන්කර දෙන්නැයි තමන් අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර ඊයේ හමුවූ අවස්තාවේදී ඉල්ලා සිටි බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජීව් අමරසූරිය ඒ බව සදහන් කළේය. ඔහු මේ බව පැවසූයේ අධිකරණ අමාත්‍යවරයා හමුවීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුව අමතමිනි .
අදාළ ව්‍යවස්ථා සංශෝධනය මේ මොහොතේ ඉදිරියට නොගෙන යා යුතු බවට වන සිය සංගමයේ ස්ථාවරය බවත්, ඒ බව අමාත්‍යවරයා වෙත පැහැදිලි කළ බවත් පැවසූ ඔහු ඊයේ පෙරවරුවේ පැවැති තම සංංගමයේ විශේෂ මහා සභා රැස්වීමේදී ඒකමතිකව සම්මත වූ වාර්තාවක්ද අධිකරණ අමාත්‍යවරයා වෙත භාර දුන් බව සඳහන් කළේය .
මෙම ගැටලුව සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට අවශ්‍ය බවත්, ඒ සඳහා අවස්ථාවක් සලසා දීමට අධිකරණ අමාත්‍යවරයා එකඟ වූ බවත් රජීව් අමරසූරිය වැඩිදුරටත් පැවසීය.
නීතිඥ සංගමයේ කරුණු දැක්වීම් අධ්‍යයනය කර ඒ පිළිබඳ ජනාධිපතිවරයා සහ අදාළ නිලධාරීන් දැනුවත් කිරීමෙන් අනතුරුව සිය ප්‍රතිචාරය ලබාදෙන බව අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.
කෙසේවෙතත්, මෙම සාකච්ඡාවෙන් පසුව අධිකරණ කටයුතුවලට බාධා වන අයුරින් කිසිදු විරෝධතාවක් හෝ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට තීරණය කර නොමැති බවද නීතිඥ සංගමය පැහැදිලි කළේය.