ශ්‍රේෂ්ඨාධිකරණ සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම යෑමේ වයස් සීමාව දීර්ඝ කිරීම සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට එරෙහිව ඉදිරි පියවර සාකච්චා කිරීම වෙනුවෙන් පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ මහා සභා රැස්වීම අද පෙරවරුවේ පැවැත්විනි .
නීතිඥවරුන් 4,000 කට ආසන්න ප්‍රමාණයක් එම රැස්වීමට සහභාගී වූ අතර එම පිරිස අතර ජාතික ජන බලවේගයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායකද, නීතිඥ උදය ගම්මන්පිල, ජනාධිපති නීතිඥ අලී සබ්රි ඇතුළු ප්‍රමුඛ පෙළේ නීතිඥවරු රැසක්ද එම අවස්ථාවට එක්ව සිටිනු දැකගත හැකි විය.
එහිදී රජයේ මෙම හදිසි තීරණයට එරෙහිව සමස්ත නීතිඥ ප්‍රජාවගේම ඒකමතික විරෝධය පළ වූ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මහා සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසීය .
අධිකරණ සේවා සංගමය, ශ්‍රී ලංකා නීතිඥ සංගමය, ජනාධිපති නීතිඥවරුන් සහ දේශපාලන පක්ෂ රැසක් මෙම වයස් සීමා දීර්ඝ කිරීමට දක්වන දැඩි විරෝධය නොතකමින් ඉකුත් ජුලි 27 වනදා ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වූ අමාත්‍ය මණ්ඩලය විසින් අදාළ යෝජනාව සම්මත කරගත් බවත්, රජයේ මෙම පියවර අතිශය සදාචාර විරෝධී මෙන්ම අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කරන ලද දැඩි ප්‍රහාරයක් බවත් ඔහු එහිදී පැවසීය.
කෙසේ වෙතත්, වෘත්තිය සහ ජනතාව වෙනුවෙන් වූ යුතුකම ඉටුකිරීම සඳහා අද සවස 5.00ට අධිකරණ අමාත්‍යවරයා හමුවී තමන්ගේ දැඩි ස්ථාවරය පවසන බවත් නීතීඥ සංගමයේ සභාපතිවරයා එහිදී පැවසීය .
මාධ්‍ය හමුවේ වැඩි දුරටත් අදහස් දක්වමින් එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජීව් අමරසූරිය මෙලෙස පැවසීය .
“ නීති ක්ෂේත්‍රය කියන්නේ නීතිඥවරු, විනිසුරුතුමන්ලත් ඇතුළු සියළු දෙනාටයි . මොකද විනිසුරුතුමන්ලාත් මුලින්ම නීතිඥවරු හැටියට තමයි පටන් ගත්තේ. ඇත්තටම විනිසුරුතුමන්ලාටත් හඬක් නෑ උසාවියෙන් පිටත. ඒ හඬත් හැමවෙලාවේම සාම්ප්‍රදායික ලෙස නියෝජනය කරන්නේ අපේ නීතිඥ සංගමය. මේ වෙලාවේ අපේ තීරණයට අනුව සියලුම දෙනා එකක් නෑර, මේ ආණ්ඩුවේ මේ අදූරදර්ශී තීරණයට විරුද්ධයි.
මම සභාපති හැටියට, අපේ සභාවෙන්, අපේ මාර්ගගතව සම්බන්ධ වුණ නීතිඥවරුන්ගෙන් ඇහුවා කවුද මේකට විරුද්ධ, සියලු දෙනාම අත් ඉස්සුවා. ප්‍රජාතන්ත්‍රවාදී ආයතනයක් හැටියට අපි සියලු දෙනාගේම හඬ අහන්න ඕනේ. ඉතින් මම ඇහුවා ඊළඟට කවුද මේකට එකඟ කියලා. එක්කෙනෙක්වත් නෑ . මේ පරිශ්‍රයේ අද මේ යෝජනාවට එකඟ කවිරුවත්ම හිටියේ නෑ. මේක ඇත්තටම බුද්ධිමත් නොවන තීරණයක් ආණ්ඩුව අරන් තියෙන්නේ. අපි ඒ සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගන්නවා. මේක අධිකරණයේ ස්වාධීනත්වයට තියෙන දැඩි පහරක්.
අපි මේ තිබුණටත් වඩා ශක්තියෙන් සහ ජවයකින් යුතුව කතා කරනවා මොකද, මොකද මේ වෙනකම් අපිට සමස්ත නීතිඥ ප්‍රජාවගේ සම්පූර්ණ අනුමැතිය තිබුණේ නෑ බාර් කවුන්සිලය හරහා, පාර්ලිමේන්තුව වගේ අපේ අනුමැතිය තිබුණේ. නමුත් සමස්ත නීතිඥ ප්‍රජාව මේ අවස්ථාවේ අපිට කියනවා මේක සම්පූර්ණයෙන් වැරදි, සදාචාර විරෝධී, මේක ඇත්තටම අපරාධයක්, මේක දූෂණයක්. ඉතින් මේක නවත්වන්න ඕනේ. අපි ස්වාධීනත්වය කියනකොට, ඒක මම හිතන්නේ අධිකරණයේ ස්වාධීනත්වය කෙලෙසුණොත්, මොකහරි ඒකට ප්‍රහාරයක් ඇති වුණොත්, ඒක අද හෙට ප්‍රශ්නයක් විතරක් නෙමෙයි, දිගු කාලීන ප්‍රශ්නයක් වෙනවා .
ආණ්ඩුව මේ කරන්න යන දෙයින් ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලාටත් අපහසුතාවයට පත්වෙන්න වෙනවා. මොකද සාමාන්‍යයෙන් පනතක්, පනතක ව්‍යවස්ථාභාවය, ව්‍යවස්ථානුකූලභාවය තීරණය වෙන්නේ සාමාන්‍යයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන්. නමුත් මේ අවස්ථාවේ එතුමන්ලාටත් මේ අපහසුතාවයට පත්කරනවා මේ ආණ්ඩුව. මොකද එතුමන්ලාටත් දැන් මේ සම්බන්ධයෙන් තීරණයක් ගන්න වෙයි. මේ ප්‍රශ්නය තියෙන්නේ, එතුමන්ලාටත් මේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමෙන් එතනින් බෙනිෆිට් එකක් ලැබෙනවා.
ඉතින් මං හිතන්නේ ආණ්ඩුව මේ කරණ දෙයින් විනිසුරුතුමන්ලත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුතුමන්ලත් අපහසුතාවයට පත් වෙනවා .