ඊයේ ඇහැළියගොඩ ප්‍රදේශයේදී සොයාගත් මළ සිරුර හොළඹ වඑආය නගර පරිශ්‍රයේදී පැහැරගත් චීන ජාතිකයාගේ ගේ බව පොලිස් ආරංචි මාර්ග පවසයි .
පසුගිය 22 වැනිදා රාත්‍රියේ චීන ජාතිකයන් තිදෙනෙකු කුලී කැබ් රථයකින් කොළඹ වරාය නගරයට පැමිණ මසුන් අල්ලමින් සිටියදී මුහුණු ආවරණය කරගත් චීන ජාතිකයන් පිරිසක් ඔවුන්ට පහරදී වෑන් රථ දෙකකින් පැහැරගෙන ගොස් ඇත .
ඉන් දෙදෙනෙකු පසුව කොළඹ වරාය නගරයේ බීච් ප්ලාසා රථගාල අසල දමා ගොස් ඇත . එම දෙදෙනා වරාය පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව සිද්ධිය පිළිබඳව විමර්ශන ආරම්භ කර ඇත .
අනතුරුව වරාය නගරයෙන් පිටවීමේ දොරටුව අසල රැඳී සිටි චීන ජාතිකයන් දෙදෙනෙකුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් වරාය නගරයේ සේවය කරන බව පවසා තිබුණද, එය අසත්‍ය බව වැඩි දුර සොයාබැලීමේදී වාර්තා වී ඇත .
අනතුරුව එම සැකකරුවන් දෙදෙනා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළෙන් විදෙස්ගත වීමට මොහොතකට පෙර අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔවුන් වරාය පොලිසියට භාරදී ඇත . ඔවුන්ගෙන් සිදුකළ ප්‍රශ්ණ කිරීමේදී ඔවුන් මෙම අපරාධයට සෘජුව සම්බන්ධ බවට පොලිසිය තහවුරු කරගෙන ඇත .
ඔවුන්ගෙන් ලද තොරතුරු අනුව කළ සොයා බැලීමෙදී ඇහැලියගොඩ ගැටහැත්තට ආසන්නව අතහැර දමා තිබූ නිවසක කාමරයක් තුළ තිබී චීන ජාතිකයෙකුගේයයි සලකෙන මළ සිරුරක් පොලිසියට හමුවී ඇත . එය කොළඹ වරාය නගරයෙන් පැහැරගෙන ගිය පුද්ගලයාගේ සිරුර බවට ද අනාවරණය වී තිබෙනවා.
සිද්ධියට අදාළව ඇහැලියගොඩ නුගදණ්ඩ කෝවිල අසල අතහැර දමා තිබූ මෝටර් රථයක්ද සොයාගෙන ඇත.