වසරේ මාස 7 ට ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 76,000 ක් .

වසරේ මේ දක්වා කාලය තුළ වාර්තා වූ ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 76,044 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කරයි .

එම ඒකකයේ දත්තවලට අනුව මේ වන විට දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 162 ක් ඩෙංගු අධි අවදානම් කළාප ලෙස හඳුනාගෙන ඇත. පසුගිය මාස කිහිපය තුළ රෝගීන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව ඉහළයමින් පවතින අතර එහි උච්චතම අගය මේ මාසයේ පළමු දින 19 තුළ වාර්තා වී ඇත .

මැයි මාසයේදී රෝගීන් 8,590 ක් ද, ජූනි මාසයේදී රෝගීන් 21,537ක් සහ ජූලි මාසයේ ගතවූ දින 19 තුළ පමණක් රෝගීන් 20,666 ක් වාර්තා වී තිබේ. ඊයේ දිනයට පමණක් වාර්තා වී අති රෝගීන් ගණන 2625 කි .

මෙම වසර තුළ ඩෙංගු රෝගය හේතුවෙන් මරණ 53 ක් සිදුවී ඇති අතර, රෝගීන් මියයෑමේ අනුපාතිකය 0.07% ක් ලෙස සටහන් වේ.

පළාත් මට්ටමින් සලකා බැලීමේදී බස්නාහිර පළාතෙන් වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන අතර එය මුළු රෝගීන්ගෙන් 52.61%ක් එනම් රෝගීන් 40,009ක් වේ. දකුණු පළාතෙන් රෝගීන් 11,707 ක් (15.40%) සහ මධ්‍යම පළාතෙන් රෝගීන් 6,431ක් (8.46%) වාර්තා වී තිබේ.

තමන් අවට පරිශ්‍රයන් පිරිසිදුව තබා ගන්නා ලෙසත් උණ රෝග ලක්ෂණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පියවර ගන්නා ලෙසත් සෞඛ්‍ය අංශ මහජනතාවගෙන් ඉල්ලා සිටී.