ඕස්ට්‍රේලියාවේ ‘Export Finance Australia’ (EFA) ආයතනය වෙත ගෙවීමට තිබූ අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක ස්වෛරී ණය මුදලක් සයිබර් අපරාධකරුවන් පිරිසක් විසින් වංචා කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් වාර්තාව නිකුත් කර ඇත. එම වාර්තාව මගින් එකී ගනුදෙනුව සම්බන්ධ තීරණාත්මක කරුණු රැසක් අනාවරණය කර ඇත .
මෙම මහා පරිමාණ මූල්‍ය වංචාව සිදුව ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අදාළ ගිණුම් තොරතුරු සැකසහිත බවටත්, මුදල් විශුද්ධිකරණ අවදානමක් පවතින බවටත් මුදල් අමාත්‍යාංශයට පැහැදිලිව අනතුරු අඟවා තිබියදී බව එම වාර්තාව මගින් හෙළිවෙයි .
වාර්තාවට අනුව, 2025 නොවැම්බර් මස 26 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් මුදල් අමාත්‍යාංශය වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර ඇත. එහිදී පෙන්වා දී ඇත්තේ ඕස්ට්‍රේලියානු ආයතනයකට ගෙවිය යුතු මුදලක් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවතින ගිණුමකට බැර කිරීමට ඉල්ලා තිබීම අතිශය සැකසහිත බවයි. එම ලිපිනයන් එකිනෙකට නොගැළපෙන බැවින්, ණයහිමියා සමඟ සෘජුව සම්බන්ධ වී ගිණුම් විස්තර නැවත තහවුරු කරගන්නා ලෙස මහ බැංකුව මුදල් අමාත්‍යංශයට උපදෙස් ලබාදි ඇත .
එහෙත් මුදල් අමාත්‍යාංශයේ වගකිවයුතු නිළධාරීන් එකී බැඳුම්කරයේ හිම්කාර ඕස්ට්‍රේලියානු සැබෑ ණයහිමියා දුරකථනයෙන් හෝ නිල රාජ්‍ය තාන්ත්‍රික නාලිකා හරහා සම්බන්ධ කරගෙන නැත . ඒ වෙනුවට එකී වංචාකරුවන් විසින් එවන ලද ව්‍යාජ විද්‍යුත් තැපැල් ලිපිනයටම නවත විද්‍යුත් තැපැල් පණිවිඩයක් යවා ඔහු විසින් එවා ඇති බැංකු තොරතුරු නිවැරදිදැයි විමසා ඇත. එහිදී වංචාකරු විසින්ම එම තොරතුරු නිවැරදි බවට ලබා දුන් තහවුරු කිරීම මුදල් අමාත්‍යංශ නිලධාරීන් විසින් පිළිගෙන ඇති බව රාජ්‍ය මුදල් කාරක සභා සිය වාර්තාව මගින් පෙන්වා දෙයි.
මෙම වංචාවේදී සයිබර් අපරාධකරුවන් විසින් ‘Mish Global LLC’, ‘LMH Global LLC’ සහ ‘Sifra Watan Project Management Services’ යන ව්‍යාජ ආයතන නාමයන් භාවිතා කර ඇත. මෙම සෑම ආයතනයක්ම ඕස්ට්‍රේලියාවේ අපනයන ණය ඒජන්සිය ලෙස පෙනී සිට ඇති අතර, අබුඩාබිහි බැංකු ගිණුම් වෙත මෙම මුදල් බැර කරවාගෙන තිබේ. රජයේ මුදල් මෙවැනි පෞද්ගලික සමාගම් නාමයන් සහිත ගිණුම්වලට බැර කරන්නේ මන්දැයි ප්‍රශ්න කිරීමට හෝ අවම වශයෙන් එම ආයතන නාමයන් ගළපා බැලීමට පවා නිලධාරීන් අපොහොසත් වී ඇති බව එම වාර්තාව සඳහන් කරයි .
මෙම සිද්ධියේ වඩාත්ම බරපතළ කරුණ වන්නේ, 2026 ජනවාරි මස මුල් සතියේදී ඉන්දියාවේ එක්සිම් බැංකුවට සිදු කිරීමට ගිය ගෙවීමක් වංචනික විය හැකි බවට ජේ.පී. මෝර්ගන් බැංකුව අනතුරු ඇඟවීමයි. ඉන් අනතුරුව මුදල් අමාත්‍යාංශය මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කර තිබියදීත්, ජනවාරි 20 වැනිදා ‘Mish Global LLC’ වෙත තවත් ඩොලර් 997,799ක මුදලක් ගෙවීමට නිලධාරීන් කටයුතු කර තිබේ. මෙය පද්ධතියේ පවතින බරපතළ නොසලකා හැරීමක් බව කාරක සභාව අවධාරණය කරයි.
ණය වාරික ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් සැබෑ ණයහිමියා (ඕස්ට්‍රේලියාව) විමසීම් කරද්දී, අමාත්‍යාංශ නිලධාරීන් පවසා ඇත්තේ ‘දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ සම්පත් හිඟය නිසා ගෙවීම් ප්‍රමාද වූ බවයි. එහෙත් ඒ වන විටත් රජයේ මුදල් වංචාකරුවන්ගේ ගිණුම් වෙත බැර වෙමින් තිබූ බව වාර්තාව පෙන්වා දෙයි.
මුදල් අමාත්‍යාංශය සතු යවත් කාලීන නොකළ ‘Microsoft Exchange Server 2016’ පද්ධතියක් භාවිතා කිරීම මෙම සයිබර් ප්‍රහාරයට ප්‍රධාන හේතුවක් වී ඇති බවත්, ඒ පිළිබඳව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකය (SL-CERT) විසින් මීට පෙර අනතුරු ඇඟවීම් කර තිබූ බවත් වාර්තා වේ .
පහත සබැඳියෙන් සම්පූර්ණ වාර්තාව කියවන්න.https://www.parliament.lk/si/business-of-parliament/committees/reports