තමන් යටතේ සේවය කරන සේවකයෙකුට පසුගිය 5 වෙනිදා අමානුෂික ලෙස පහරදීමේ සිදුවීමක් සම්බන්ධයෙන් සිදු කරන ලද පුළුල් විමර්ශනවලින් අනතුරුව මිස්ටර් කොත්තු ආයතනයේ හිමිකරුවා වන විරාජ් වික්‍රමනායක අත්අඩංගුවට ගත් බව මහරගම පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කරයි .
ඔහු සිය අවන්හල තුළ සේවකයෙකුට අමානුෂික ලෙස පහරදෙන අයුරු දැක්වෙන ආරක්ෂිත කැමරා දර්ශන පෙළක් සමාජ මාධ්‍ය ඔස්සේ සීඝ්රයෙන් සංසරණය වීමත් සමඟ මෙම සිදුවීම කෙරෙහි අවධානය යොමුව තිබුණි . ඒ අනුව අත්අඩංගුවට ගත් ඔහු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිත බව මහරගම පොලිසිය පවසයි .
මේ පිළිබඳව අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ් යූ වුට්ලර් මීට පෙර සඳහන් කර තිබුණේ මෙම දර්ශන පදනම් කරගනිමින් මහරගම පොලිස් ස්ථානය මඟින් විශේෂ විමර්ශනයක් අරඹා ඇති බවයි.
දිවයිනේ ප්‍රදේශ කිහිපයකම ව්‍යාප්තව පවතින මෙම අවන්හල් ජාලයේ හිමිකරු වන විරාජ් වික්‍රමනායක සමාජ මාධ්‍ය හරහා නිරන්තරයෙන්ම පෙනී සිටියේ තම සේවකයන්ට ඉතා ඉහළින් සලකන පුද්ගලයෙකු ලෙසය . එහෙත් ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදී සිය සේවකයන්ට පහර දුන් බව සමාජ මධ්‍යයේ වාර්තා වී තිබුනි. කෙසේ වෙතත් මෙවර සිදුවීම වීඩියෝ දර්ශණ සහිතව සමාජ මාධ්‍යට නිරාවරණය වීමෙන් පසු ඔහු අත්අඩංගුවට ගත යුතු බවට ප්‍රබල මතයක් සමාජයේ ගොඩනැගී තිබුනි .