ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නියෝගයකට අනුව, ඉරානය තුළ පිහිටි හමුදා ඉලක්ක කිහිපයකට අතිරේක ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කළ බව ඇමරිකානු ආරක්ෂක අංශ ඊයේ නිවේදනය කළේය .
ඇමරිකානු මධ්‍යම බලඇණිය සමාජ මාධ්‍ය සටහනක් තබමින් ප්‍රකාශ කළේ, හෝමුස් සමුද්‍ර සන්ධියේ යාත්‍රා කළ වෙළඳ නෞකාවකට ඉරාන හමුදා එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් මෙම පියවර ගත් බවයි.
සටන්විරාම ගිවිසුමට ගරු කිරීමට ඉරානයට ලබාදී අතිම් අවස්ථාව නොතකමින් ඔවුන් වාණිජ නෞකාවලට එල්ල කරන අඛණ්ඩ ප්‍රහාර නතර කරනු වස් මෙම දැඩි තීරණය ගැනීමට සිදු වූ බව ඇමරිකාව පවසයි.
මෙම ගුවන් ප්‍රහාර මාලාවේදී ඉරාන හමුදාවට අයත් නිරීක්ෂණ යටිතල පහසුකම්, සන්නිවේදන පද්ධති, ගුවන් ආරක්ෂක ස්ථාන, ඩ්‍රෝන යානා ගබඩා සහ බෝම්බ ඇතුරුම් පහසුකම් ඉලක්ක කර ඇති බව වාර්තා වේ. මේ වන විට එම මෙහෙයුම් සාර්ථකව අවසන් කර ඇති බව ඇමරිකානු ආරක්ෂක අංශ තහවුරු කරයි.
මේ අතර, ඉරාන රාජ්‍ය රූපවාහිනිය වාර්තා කළේ එරට දකුණු දිග ප්‍රදේශයේ පිහිටි ‘සිරිකි’ (Sirik) නගරය ආසන්නයෙන් ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් ඇසුණු බවයි. කෙසේ වෙතත් සිදුවූ හානිය පිළිබඳව ඉරානය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදුකර නොමැත.
සති දෙකකට පෙර ඇති කරගත් එකඟතාව අනෙක් පාර්ශවය විසින් උල්ලංඝනය කර ඇති බවට ඇමරිකාව සහ ඉරානය මේ වන විට එකිනෙකාට චෝදනා කර ගනිති.