පොඩ්ඩක් ඉන්න ”රී බිල්ඩින් ශ්‍රී ලංකා” පනත තවම හදනවා.

දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ස්ථාපිත කළ “රීබිල්ඩින් ශ්‍රී ලංකා” අරමුදලට අදාළ පනත තවමත් සකස්කරමින් පවතින බවත් ඒ සඳහා යම් කාලයක් ගතවන බවත් සභානායක අමාත්‍ය බිමල් රත්නායක පැවසීය .

අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ ඕනෑම රජයක් විසින් ගනු ලබන තීරණ මුලින්ම ප්‍රායෝගික මට්ටමින් ක්‍රියාත්මක වීමේ හැකියාව පැවතියද, එම සෑම ක්‍රියාවලියක්ම ඒ මොහොතේම නීත්‍යානුකූලව සම්පූර්ණ වී නොතිබිය හැකි බවයි.

කෙසේවෙතත් දිට්වා සුළි කුණාටුවෙන් සිදු වූ හානි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ස්ථාපිත කළ “රීබිල්ඩින් ශ්‍රී ලංකා” අරමුදල සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බවත්, වත්මන් ආණ්ඩුව “රාජපක්ෂලා වැනි සුනාමි අරමුදල් හොරකම් කළ ජාතියේ කල්ලියක්” නොවන බවත් ඔහු පැවසීය .

ඊයේ (10) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, රීබිල්ඩින් ශ්‍රී ලංකා නමින් වෙනම නීත්‍යානුකූල අරමුදලක් මෙතෙක් ස්ථාපිත වී නොමැති බවට පාර්ලිමේන්තු මුදල් පිළිබඳ කාරක සභාවේදී මතු වූ සාකච්ඡාවකට පිළිතුරු ලබාදෙමින්.

රීබිල්ඩින් ශ්‍රී ලංකා අරමුදල සම්බන්ධයෙන් මුදල් කාරක සභාව විසින් සමාජය තුළ විශාල වැරදි මතයක් පතුරවමින් සිටින බවට අමාත්‍ය බිමල් රත්නායක මෙහිදී පැවසීය .

එම අරමුදල නිල වශයෙන් පිහිටුවා නොමැති බවට එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කළ ඔහු එවැනි අරමුදලක් ස්ථාපිත කර නොමැති බැවින් එය නීති විරෝධී බව පවසමින් ඇතැම් පිරිස් රාජ්‍ය නිලධාරීන්ව තැතිගන්වා ඔවුන් ලවා ප්‍රකාශ ලබාගැනීමට උත්සාහ කරන බවයි.

රටේ පවතින ඒකාබද්ධ අරමුදල පවා පවතින්නේ “මේන් කෑෂ්බුක් එකවුන්ට්” නැතහොත් “ට්‍රෙෂරීස් ජෙනරල් එකවුන්ට්” ලෙස බව පෙන්වා දුන් අමාත්‍යවරයා, හදිසි අවස්ථාවලදී රටේ ඕනෑතරම් අරමුදල් මෙලෙස තාවකාලිකව සාදා ඇති බව පැවසීය .