බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගෙන වැඩ තහනම් කිරීමට එරෙහිව ඔහුගේ බිරිඳ විසින් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ ගොනුකරනා ලද පෙත්සමට අදාලව සිය නිගනමනය එම කොමිසම විසින් ප්‍රකාශයට පත්කර ඇත .
ඒ අනුව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය අත්අඩංගුවට ගැනීම සහ ඔහුගේ සේවය තහනම් කිරීමේදී නිසි නීතිමය රාකුවක් තුළ සිදු කර නොමැති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව නිගමනය කර ඇත . එම කොමිසම පෙන්වා දෙන්නේ තුෂාර උපුල්දෙණියගේ අත්අඩංගුවට ගැනීම සහ වැඩ තහනම් කිරීම මගින් ඔහුගේ මූලික මානව හිමිකම් මෙන්ම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ද උල්ලංඝනය වී ඇති බවයි.
ජනාධිපති පොදු සමාව අයථා ලෙස භාවිතා කළේයයි ජනාධිපති ලේකම් කාර්යාලයෙන් කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තුෂාර උපුල්දෙණිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන ලදි . ඒ අනුව, විමර්ශන කටයුතු ස්වාධීනව සිදුකිරීමේ අරමුණින් 2025 ජුනි 09 වැනිදා රැස්වූ අමාත්‍ය මණ්ඩලය ඔහුගේ වැඩ තහනම් කිරීමට තීරණය කළ අතර, පසුදින ජුනි 10 දින ඔහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනා ලදි .
අනතුරුව තුෂාර උපුල්දෙණියගේ බිරිඳ විසින් මානව හ්මිකම් කොමිසමට ඒ සම්බන්ධයෙ පැමිණිල්ලක් ඉදිරිපත් කරනා ලදි . එම පැමිණිල්ලක් විභාග කළ මානව හිමිකම් කොමිසම ඊට අදාල වාර්තාව මගින් පෙන්වා දෙන්නේ, සැකකරු අත්අඩංගුවට ගැනීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමාණවත් විමර්ශනයක් සිදුකර නොමැති බවයි.
එමෙන්ම මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමේදී ද දෝෂ පවතින බවත්, වින්දිතයා ලබාදුන් ප්‍රකාශයන් නිසි ලෙස සැලකිල්ලට ගෙන නොමැති බවත් කොමිසම නිරීක්ෂණය කර තිබේ .
සේවය තහනම් කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කොමිසම සඳහන් කරන්නේ, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව තුළ ද අදාළ සිදුවීම පිළිබඳ කරුණු නිවැරදිව හා ප්‍රමාණවත්ව අන්තර්ගතව නොතිබූ බවයි.
ආයතන ප්‍රධානියා ලෙස සිය බලතල අනෙකුත් නිලධාරීන් වෙත පවරා තිබියදී ඔහු සෘජුව වගකිවයුතු බවට පවසමින් වැඩතහනම් කිරීම ප්‍රශ්න සහගත බව ද එහි දැක්වෙයි .
මෙම අත්තනෝමතික ක්‍රියාකලාපය හරහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තිය නීතිය ඉදිරියේ සමානතාව සහ 13(1) වගන්තිය අත්තනෝමතික ලෙස අත්අඩංගුවට ගැනීමෙන් නිදහස උල්ලංඝනය වී ඇති බව මානව හිමිකම් කොමිසම තීන්දු කර ඇත .
ඒ අනුව කොමිසම විසින් පහත නිර්දේශ ඉදිරිපත් කර ඇත .
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මෙම ක්‍රියාකළාපය පිළිබඳව වහාම සොයා බලා සුදුසු පියවර ගන්නා ලෙස පොලිස්පතිවරයාට සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට දැනුම් දීම.
වැඩතහනම් කිරීමේ ක්‍රියාවලිය හේතුවෙන් සිදු වූ මානව හිමිකම් කඩවීම් සලකා බලා, අධිකරණ අමාත්‍යාංශ ලේකම්වරයා විසින් බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙණිය සම්බන්ධයෙන් සාධාරණ පියවරක් ගෙන ඒ පිළිබඳව කොමිසම දැනුවත් කිරීම.
මෙම සියලු නිර්දේශ 2026 අප්‍රේල් 30 වැනිදාට පෙර ක්‍රියාත්මක කර අවසන් කළ යුතු බව ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වැඩිදුරටත් නිර්දේශ කර ඇත .