හෙට සිට ක්‍රියාත්මක විදුලි ගාස්තු සංශෝධනයට මැදපෙරදිග යුදමය තත්ත්වය, ගල්අඟුරු ආනයනය සම්බන්ධයෙන් මතුව ඇති අර්බුදකාරී තත්ත්වය, පවතින දැඩි වියළි කාලගුණය හේතුවෙන් ජල විදුලි උත්පාදනයට එල්ල වී ඇති බාධා ආදියේ බලපෑම සැලකිකිල්ලට නොගත් බව මහජන උපයෝගිතා කොමිෂන් සභාව පවසයි .
එම කොමිසමේ සභාපති මහාචාර්ය කේ. පී. එල්. චන්ද්‍රලාල් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පැවසූවේ එම තත්ත්වයන් හේතුවෙන් විදුලි නිෂ්පාදන පිරිවැය ඉහළ යාම පදනම්ව, අවශ්‍ය වුවහොත් යළිත් වරක් විදුලි ගාස්තු සංශෝධනයක් සඳහා යෝජනා ඉදිරිපත් කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවස්ථාව ඇතිබවය .
මහාචාර්යවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම කරුණු හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයේ පිරිවැය සියයට 15කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව සනාථ වුවහොත්, මණ්ඩලය කරන ඉල්ලීමක් මත යළිත් ගාස්තු සංශෝධනයක් පිළිබඳව සලකා බැලීමට කොමිෂන් සභාවට සිදුවන බවයි.
හෙට සිට සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු ඉහළ නැංවීමට මහජන උපයෝගිතා කොමිසම ලංකා විදුලිබල මණ්ඩලයට ඊයේ අවසර ලබා දුන් අතර, ඒ අනුව සියයට 4.3 සිට සියයට 25.3 දක්වා පරාසයක විවිධ කාණ්ඩ යටතේ ගාස්තු ඉහළ නංවා ඇත. මෙහිදී විදුලි ගාස්තුව භාවිත කරනා ඒකක ගනන අනුව වෙනස් වීම විශේෂත්වයකි.