ඇමරිකාවෙන් සටන් විරාමය සඳහා කොන්දේසි 15 ක්

අමෙරිකාව සමග සාකච්චාවට ඉරානය නොඑලබෙන්නේනම් එරටට දරුණු ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බව ධවල මන්දිරය අනතුරු ඇඟවීමක් සිදුකරයි .

මෙම තත්ත්වය ගැන අදහස් දක්වමින් ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසූවේ මේ මොහොතේ ඉරානය යථාර්ථය පිළිගැනීමට අපොහොසත් වුවහොත් ඔවුන්ට පෙර කිසිදා නොවුවිරූ ලෙස ප්‍රහාරයකට මුහුණදීමට සිදුවනු ඇති බවය.

ධවල මන්දිරයේ ඊයේ (25) පැවති මාධ්‍ය හමුවේදී එක්සත් ජනපද සාම සැලැස්ම ප්‍රතික්ෂේප කිරීමට ඉරානය කටයුතු කළහොත් ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව ප්‍රකාශ කර තිබේ.

ඉරානයට එල්ල කරන ප්‍රහාර නතර කිරීම සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඊයේ දිනයේ දී සටන් විරාම කොන්දේසී 15 ක් ප්‍රකාශයට පත්කර ඇත.

කෙසේවෙතත් අදාළ සටන් විරාම යෝජනා ප්‍රතික්ෂේප කරන ඉරාන විදේශ කටයුතු අමාත්‍ය අබ්බාස් අරගච් ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකාව සමඟ කිසිදු සාකච්ඡාවක් පැවැත්වීමට ඉරානය අදහස් නොකරන බවය.

අමෙරිකා එක්සත් ජනපදය විසින් මැදිහත්කරුවන් හරහා විවිධ පණිවුඩ යොමුකළ ද ඉරානයට අවශ්‍ය වන්නේ ස්ථීර අවසානයක් බව ඉරාන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

ඒ සඳහා ඉරානයට සිදුවු විනාශය සම්බන්ධයෙන් වන්දි ලබාදීම ඇතුළු ඉල්ලීම් 5ක් යොමුකිරීමට ද ඉරාන බලධාරීන් පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය . මැදපෙරදිග පවතින්නේ ඉරාන යුද්ධයක් හෝ අමෙරිකානු යුද්ධයක් නොවන අතර ඊශ්‍රායලයේ අවශ්‍යතාවයට අමෙරිකාව කටයුතු කරමින් සිටින බව ඉරාන විදේශ අමාත්‍යවරයා පවසයි.