කොළඹ ප්‍රදේශයේ පැවති “රාජකීය අවුරුදු කුමරිය” තේරීමේ තරගයකදී හිංසාකාරි අයුරින් පිඹුරෙකු ගෙලේ රඳවාගෙන නර්තනයේ යෙදුණු බව පැවසෙන, මෙත්මී හිරණ්‍යා නම් තරුණිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් එච්.ඩී.ඩී.ජේ ප්‍රේමරත්න වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අද (23) නියෝග කළේය .
මේ සිද්ධියට අදාලව සමාජ මාධ්‍යවල මේ දිනවල ප්‍රචාරය වන වීඩියෝ දර්ශනයන්ට අදාලව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කරනා ලද කරුණු දැක්වීමකට අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
එම උත්සවය සංවිධානය කළ බව කියන නිරූපණ ශිල්පි චන්දිමාල් ජයසිංහගෙන් හා එම සිද්ධිය වීඩියෝ ගත කළ කැමරා ශිල්පියාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ලබා දෙන ලෙසද වනජීවී දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ල සිටි අතර, එම අවසරයද අධිකරණය ලබාදෙන ලදි .
හදිසි අනතුරකට ලක්වූ පිඹුරෙක් නිවසේ රඳවාගෙන ප්‍රතිකාර කරමින් සිටි ලක්ෂාන් මධුසංඛ නම් තරුණයෙක් වන ජීවී දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කිරීමෙන් අනතුරුව රුපියල් 50,000 දඩයක් නියමකරනා ලදි . එම සිදුවීමට අදාලව වනජිවී දෙපාර්තමේන්තුවේ හැසිරීම සමාජ මාධ්‍යන්හී දැඩි විවේචනයට ලක්විය.
එහිදී අදහස් දැක්වූ සමාජ මාධ්‍ය පරිශීලකයෝ පිඹුරෙක් හිංසනයට ලක් කළ තරුණියට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකොට, අනතුරට පත් පිඹුරෙකුට ප්‍රතිකාර කළ තරුණයෙක් අත් අඩංගුවට ගැනීම පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුව දැඩි විවේචනයට ලක් කළහ .