බොහෝ දෙනෙක් අසුවෙන පරිදි බදු දැල ලොකු කරයි. .

ශ්‍රී ලංකාවේ පවතින බදු රාමුව කඩිනමින් වෙමස් කිරීමට නියමිතය . ඒ අනුව 2017 අංක 24 දරන දේශීය ආදායම් පනත සංශෝධනය කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පෙබරවාරි 24 වන දින අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් ප්‍රකාශයට පත් කර ඇත.

මෙම නව පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මත වී නීතියක් බවට පත්වීමත් සමග එය බලාත්මක වන අතර එමගින් රජය බදු පදනම පුළුල් කිරීම, බදු එකතුකිරීම ශක්තිමත් කිරීමට රජය බලාපොරිත්තු වෙයි .

ඉඩම්, ගොඩනැගිලි හෝ කොටස් විකිණීමෙන් ලබන ලාභය මත අයකරන ප්‍රාග්ධන ලාභය මත වන බද්ද නව සංශෝධන ක්‍රියාත්මක වීමත් සමග 10% සිට 15% දක්වා ඉහළ නැංවීමට නව සංශෝධනයෙන් යෝජනා කර ඇත .

සේවා සැපයීමේදී ගෙවීම් ලබන අවස්ථාවේදීම 5% ක බදු මුදලක් කපාගෙන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට බැර කිරීමේ (Withholding Tax) ක්‍රමය යටතට නව වෘත්තීන් රැසක් ඇතුළත් කිරීමටද නව් අ සංශෝධන මගින් යෝජනා කර ඇත.

විගණකවරුන්, තක්සේරුකරුවන්, පෞද්ගලික පුහුණුකරුවන්, ක්‍රීඩා උපදේශකයන්, කලාකරුවන්, ඡායාරූප ශිල්පීන්, චිකිත්සකයින්, රූපලාවන්‍ය ශිල්පීන්, සමාජ මාධ්‍ය විශේෂඥයන් , සන්නාම තානාපතිවරුන් සහ ණය අයකරන්නන් ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තිකයන් හා නිදහස් සේවකයින් විසින් උපයන ආදායම්ද නව සංශෝධන මගින් බදු අයාකිරීමට යටත් වෙයි .

2023 මාර්තු 31 දිනට පෙර නොගෙවා ඇති හිඟ බදු මත එකතු වී ඇති පොලිය නිදහස් කිරීමට නව සංශෝධනය මගින් දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයාට බලය ලබාදී ඇත . එහෙත්, මෙම සහනය හිමිවනුයේ නව බදු නීතිය ක්‍රියාත්මක වී පළමු මාස 6 ඇතුළත මුළු බදු මුදල සහ දඩ මුදල් සම්පූර්ණයෙන් ගෙවා නිමකරනා අයට පමණි.

2026 අප්‍රේල් 1 වනදා සිට ‘ඇස්තමේන්තුගත බදු ප්‍රකාශය’ ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාව ඉවත් කරනු ලබන අතර, ඒ වෙනුවට පෙර වසරේ බදු අය කළ හැකි ආදායම පදනම් කරගෙන වාරික වශයෙන් බදු ගෙවීමේ ක්‍රමයක් හඳුන්වා දීමට නියමිතය.

එසේම, 2025 අප්‍රේල් 1 සිට ක්‍රියාත්මක වන පරිදි, පෙර වසරේ ගෙවූ බදු මුදලට වඩා අවම වශයෙන් 120% ක බදු මුදලක් ප්‍රකාශ කර ගෙවන පුද්ගලික බදු ගෙවන්නන්ට විශේෂ සහනයක් හිමිවනු ඇත. ඒ අනුව ඔවුන්ගේ බදු වාර්තා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සෘජුවම පිළිගනිමට නියමිතය. එවැනි බදු ගෙවන්නන්ගේ අදාම් සම්බන්ධයෙන් අතිරේක බදු විමර්ශන සිදු නොකිරීමට ද යෝජනා කර ඇත.

මෙම සංශෝධන මගින් ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ලත් ව්‍යාපාර සඳහා වන ප්‍රාග්ධන දීමනා, රක්ෂණ ක්ෂේත්‍රය සහ ආයෝජන අරමුදල් සම්බන්ධ නීති රීති ද යාවත්කාලීන කිරීමටද නියමිත බව වාර්තා වේ.