මහල් නිවාසයක බිත්තියක් කඩා වැටී මියගිය දරුවා ගැන බිමල් සොව පලකරයි .

නාගරික සංවර්ධන අධිකාරියට අයත් මාදම්පිටිය, හේනමුල්ලේ රන්දිය උල්පත නිවාස සංකීර්ණයේ පිටත සෙල්ලම් කරමින් සිටි කුඩා දරුවෙක් අද උදෑසන සිදුවූ හදිසි අනතුරකින් මියගොස් ඇත . මෙලෙස මියගොස් ඇත්තේ එම නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි මොටීර් සඳරුවන් නමැති හත් හැවිරිදි වියේ පසුවූ දරුවෙකි .

කොළඹ මෝදර මාදම්පිටිය ප්‍රදේශයේ පිහිටි එම මහල් නිවාස සංකීර්ණයක පිටත බිත්තියකින් කඩා වැටුණු සිමෙන්ති බදාමයක කොටසක් හිසට කඩා වැටීමෙන් එම දරුවා මියගොස් ඇත .

එම සිදුවීම සම්බන්ධයෙන් ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍ය බිමල් රත්නායක පාර්ලිමේන්තුවේදී අද එම දරුවාගේ පවුලේ සාමාජිකයන්ගෙන් සමාව අයද සිටියේය.

එම සිදුවීම ගැන අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ, රන්දිය උල්පත මහල් නිවාස සංකීර්ණයට අයත් මෙම ගොඩනැගිල්ල 2014 වසරේදී ඉදිරිකිරීම් කටයුතු ආරම්භකළ එකක් බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ, නාගරික පුනර්ජීවන වැඩසටහන යටතේ ඉදිකෙරී ඇති නිවාස ව්‍යාපෘති වල බොහෝ ගැටලු පවතින බවය . මතට ඇබ්බැහි වූ අය විසින් විදුලි සෝපානවල කැබලි සහ විදුලි බුබුළු ගලවන බවත්, තමා අමාත්‍ය ධුරය බාර ගත් පසුව අත්‍යවශ්‍ය නාගරික නිවාස ගොඩනැගිලි ප්‍රතිසංස්කරණය කිරීම සඳහා රුපියල් මිලියන 325 ක් වෙන් කර ඇතිබවත් ඔහු පැවසීය . නාගරික සංවර්ධන අධිකාරියේ සම්පත් බෙදී යාම සහමුලින්ම වෙනස් කළ යුතුබව පැවසූ අමාත්‍යවරයා මිනිසුන් ගැන තෙතමනයෙන් වැඩ කරන සංස්කෘතියක් නාගරික සංවර්ධන අධිකාරියේ නොමැතිබවද පැවසීය .

රන්දිය උල්පත මහල් නිවාස සංකීර්ණයේ පිටත බිත්තියේ සිමෙන්ති බදාම තට්ටු කැඩී වැටෙන අවදානමක් පවතින බව තමන් කීප අවස්ථවකදීම නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට දන්වා තිබූ බවත්, ඒ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බවට අසල්වැසියන් පවසා ඇත. සිද්ධිය සම්බන්ධයෙන් මෝදර පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතිනවා.