කොරියානු වීසා සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමා අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් ඉල්ලා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ඉල්ලා අස්කර ගෙන ඇත.
ඊයේ (19) විනිසුරු එස්. තුරෙයි රාජා ප්රමුඛ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී, පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා කියා සිටියේ තම සේවාදායකයා මේ අවස්ථාවේ අත්අඩංගුවට නොගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී ඇති බවයි.
ඒ අනුව, පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත්, පෙත්සම පවත්වාගෙන යාමේ අවශ්‍යතාවයක් නොමැති බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරු මඩුල්ල පෙත්සම ඉල්ලා අස්කර ගැනීමට අවසර ලබා දුන්නේය.