උසස් පෙළ විභාගය නැවත පවත්වන දිනය ගැන විභාග කොමසාරිස්වරිය ගෙන් ඉඟියක් .

රට තුළ ඇති වූ අවාසනාවන්ත ආපදා තත්ත්වය හේතුවෙන් කල් දැමූ 2025 අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය නැවත ආරම්භ කිරීමේදී සිසුනගේ මානසික මට්ටම පිළිබඳව තමන් දැඩි සැලකිල්ලක් දක්වන බවත්, ඒ අනුව ලබන ජනවාරි මස විභාගය නැවත් පැවැත්වීමේ හැකියාව ඇතැයි තමා විශ්වාස කරනා බවත් විභාග කොමසාරිස් ජනරාල් ඒ.කේ.එස්. ඉන්දිකා කුමාරි පවසන්නීය . එමෙන්ම විභාගයට සූදානම් වීමට අවශ්‍ය කාලය දරුවන්ට ලබාදෙන බවද ඇය පැවසූවාය .

රූපවාහිනී වැඩසහටනකට එක් වෙමින් විභාග කොමසාරිස්වරිය මෙලෙස අදහස් දැක්වූවාය.

විභාගයට මුහුණදෙන සියලුම දරුවන්ට සමාන පරිසරයක විභාගය ලිවීමේ අවස්ථව ලබාදීම වගකීම දෙපාර්තමේන්තුව සතු වගකීමක් බැවින්, දරුවන්ගේ මානසික තත්ත්වය යථා තත්ත්වයට පත් වනතුරු උසස් පෙළ විභාග දිනය නිශ්චිතව නියම නොකරන බව කීවාය .

නොවැම්බර් 10 සිට දෙසැම්බර් 05 දක්වා විභාගය අවසන් කිරීමට සැලසුම් කර තිබුණු නමුත්, ආපදා තත්ත්වය නිසා එය අඩාල වුණු බවත්, එමෙන්ම විභාගයේ තවත් දින හතක් පැවැත්වීමට ඉතිරිව තිබෙන බවත් ඇය පවසන්නීය . දරුවන්ට පළමු ප්‍රශ්න පත්‍රයට සහ දෙවන ප්‍රශ්න පත්‍රයටම මුහුණ දීමට සිදුවන විෂයයන් දහයක් ද, දෙවන ප්‍රශ්න පත්‍රය පමණක් ඉතිරිව ඇති විෂයයන් පහක් ද, පළමු ප්‍රශ්න පත්‍රය පමණක් ඉතිරිව ඇති එක් විෂයයක් ද පවතින බවද ඇය සඳහන් කරන්නීය .

ආපදාවෙන් හානි වූ මධ්‍යස්ථාන සහ සිසුන් පිළිබඳ තොරතුරු රැස් කිරීම මේ වන විටත් ආරම්භ කර තිබෙන බවත් පළාත් පාලන අධ්‍යක්ෂවරුන් සහ පළාත් ලේකම්වරුන් හරහා මෙන්ම විභාග දෙපාර්තමේන්තුව හරහා ද තොරතුරු ලබා ගන්නා බවත් විභාග කොමසාරිස්වරිය ඇය සඳහන් කළාය.