අබාධිත ප්‍රජාවටත් රැකියා දෙන්න – කම්කරු ඇමැති පුද්ගලික අංශයෙන් ඉල්ලයි

ආබාධිත ප්‍රජාව රැකියාවලට බඳවා ගැනීමේ දි රාජ්‍ය අංශය සැලකිය යුතු සාධාරණ මැදිහත්වීමක් උපරිමව සිදුකරන අතර මෙම ආබාධිත ජනතාවගේ ප්‍රශ්නය විසඳීමට මැදිහත් වෙන්නැයි  පුද්ගලික අංශයට ද තමන් ආයාචනයක් මෙන්ම ආරාධනාවක් කරන බව කම්කරු හා මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය.

ආබාධිත සහිත පුද්ගලයින් වෙනුවෙන් රැකියා අවස්ථා ලබා ගැනීම වෙනුවෙන් රාජ්‍ය ආයතන තුල පැවැති පළමු වැඩසටහනට එක්වෙමින් ඇමැතිවරයා එසේ කීය.

මෙම වැඩසටහන කම්කරු අමාත්‍යංශයේ දි අද (20) ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු  මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතිණි.

එහිදි අමාත්‍යවරයා මෙසේ ද පැවසීය.

පාර්ලිමේන්තු සංසදය ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් අනෙකුත් පාර්ශ්වකරුවන්ගේ උදව්වත් ඇතිව මෙම වැඩසටහන සම්බන්ධීකරණය කරලා පැවැත්වීම සම්බන්ධව ස්තූතිවන්ත වෙනවා. ආබාධ සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම්, ඔවුන් පිළිබඳ සමාජය මොන ආකාරයටද දැකිය යුතු වන්නේ යන්නත් ආණ්ඩුවක් ලෙස හා සමාජයක් ලෙස කාර්යභාරය විවිධ විදිහට සාකච්ඡා වෙලා තියෙනවා සහ සාකච්ඡා වෙමින් තියෙනවා. 

සමස්ත සමාජයක් ලෙස අපි නිතරම කතා කරන Inclusivity එහෙමත් නැත්නම් ඔක්කොම එකට සිටීම. මෙහිදී සමාජයක කිසිවෙක් අත්හැරෙන්න බැහැ. අපි නිතරම Inclusive Society එකක් ගැන සාකච්ඡා කරනවා. නමුත් එම කාරණයේදී තවමත් අපිට ඒ කියන ප්‍රධාන පරමාර්ථය, අරමුණ සෑහීමකට පත්වෙන්න පුළුවන් තැනකට ඇවිත් නැහැ. සමාජයක වැඩ කටයුතු සිද්ධ වෙන්නේ මැදිහත්වීම් තුළින්. එමනිසා මේ සඳහා මූලිකත්වය අරගෙන වැඩ කටයුතු කරන සියලුදෙනාගේ දායකත්වය අපි ඉහළින්ම අගය කරන්න ඕනේ. සමහර අවස්ථාවලදී අපි කරන දේවල් අසාර්ථක නිසා අපි දේවල් අත්හරිනවා. කිසිවක් එකවර සිද්ධ වෙන්නේ නැහැ. හොඳ සමාජ පරිවර්තනයකදී අතරමැද බාධක ඇවිත් අපි අත්හැරියොත් එම කාර්යය සාර්ථක කරගන්න බැහැ. 

අපි අද විශේෂයෙන් කතා කරන්නේ රැකියාවලට කොහොමද ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධීකරණය කරගන්නේ කියලයි. කම්කරු අමාත්‍යාංශය වශයෙන් අපි කොහොමද මැදිහත්වීම සහ දායකත්වය ලබාදෙන්නේ කියන කාරණයයි. මෙහිදී මම සඳහන් කරනවා ප්‍රවේශ දෙකක්. අපි බොහෝදුරට දේවල් කරන්න උත්සහ කරන්නේ නීතිරීති මඟින්, කම්කරු දෙපාර්තමේන්තුව වශයෙන් අපි ආබාධ සහිත පුද්ගලයන්ට වගේම අනෙකුත් කම්කරු ක්ෂේත්‍රයට අදාළ නීතිරීති හදනවා. අපේ කණ්ඩායමකුත් හදලා තියෙනවා කම්කරු නීති සම්බන්ධයෙන් කටයුතු කරන්න. නමුත් නීතිය විසින් බලාත්මක කරලා එම කාර්යය කිරීම සියයට සීයක් සාර්ථක වන්නේ නැහැ. නීතියම අපේ හැසිරීමේ කොටසක් බවට පත්වුණොත් නීතියක් අවශ්‍ය වන්නේ නැහැ. එමනිසා ස්වයං පාලනයක්, විනයක් සහ ගරු කිරීමක් ප්‍රගුණ කළ යුතුයි. එමනිසා අපි නීතිය සාධාරණව හා නිසි පරිදි ඉෂ්ඨ කිරීම මඟින් එම බඳවාගැනීම් තුළින් ආබාධිත පුද්ගලයින් සවිබලගැන්වීම සහ එම සියලුදෙනා ආර්ථික ක්‍රියාවලියට එකතු කරගැනීමේ සඳහා අමාත්‍යාංශයක් ලෙස අවශ්‍ය කරන මැදිහත්වීම සිදුකරමු කියා යෝජනා කරනවා.  

ආබාධ සහිත පුද්ගලයන්ට අපි උදව් කිරීම හෝ ඔවුන් වෙනුවෙන් මැදිහත් වීම කළයුතු වන්නේ ඔවුන් කෙරෙහි අනුකම්පාව දැක්වීම සඳහා නොවෙයි කියලා. මම හිතන්නේ අනුකම්පාව දක්වන එකම අගෞරවයක් කියලා. එහිදී මේ ආබාධ සහිත පුද්ගලයා අනිත් පුද්ගලයාට සාපේක්ෂව යටත් පුද්ගලයෙක් බවට පත්වෙනවා. ඔහු හැමතිස්සෙම ඉල්ලා සිටින්නෙක් සහ අනෙක් කෙනා මත යැපෙන්නෙක් බවට පත්කරනවා. අන්න ඒ මානසික මට්ටම හොඳ එකක් නෙවෙයි. අනිත් කෙනාත් හිතනවා ආබාධ සහිත කෙනාට උදව් කරලා මානසික තෘප්තියකුත් ලබාගන්නවා කියලා. 

ආයතනයක් තමුන්ගේ ලාභය පාඩුව පැත්තෙන් හිතපුවාම ආබාධිත සහිත කෙනෙක් වැඩට යොදා ගත්තාම මගේ ඵලදායීතාවය අඩුවෙයි. අනවශ්‍ය පිරිවැයක් යනවා කියලා නැඹුරුතාවය අඩු වෙන්න පුළුවන්. නමුත් එහෙම වෙන්නේ නැහැ. ඔවුන්ගේ හැකියාවෙන් ඔබට ගොඩක් දේවල් කරගන්න පුළුවන් වෙනවා. අපි අමාත්‍යාංශය පැත්තෙන් මැදිහත් වෙලා ඒ පෞද්ගලික ආයතනත් සම්බන්ධ කරමු.

ඒ නිසාවෙන්ම තමයි මේ අයවැය ඇතුළේ මට මතකයි ජනාධිපතිතුමා කිව්වා විශේෂයෙන් ආන්තිකකරණයට ලක්වෙන හරි මඟහැරෙන හරි සමාජයේ සාමාන්‍යයෙන් කතා කරන්නේ නැති අය විශේෂයෙන් කෙසේ හෝ මේකට කැඳවීම සඳහා මෙම ව්‍යාපාරයට කැඳවීම සඳහා රට පරිවර්තනය කිරීමේ කාර්යයට කැඳවීම සඳහා පුළුවන් තරම් වෙන්කිරීම් කරන්න. ඒ අනුව තමයි පුද්ගලික ආයතන වලට යම් වෙන්කිරීමක් කරලා, රුපියල් පහලොස්දාහ දක්වා වැඩිකරමින් සියයට පනහක යටත්වීමක් කරලා ආබාධිත සහිත තැනැත්තන් සේවයේ යෙදවීමේදී යම් මුදලක් ගෙවන්න කියලා. ඒකෙන් ප්‍රශ්න විසඳෙනවා කියන එක නෙමෙයි. 

හැබැයි අපිට විපක්ෂෙන් කියනවා, ඕකෙන් කරන්න බැහැ. Company වලට දෙන්න එපා. වතු කම්කරුවන් සම්බන්ධයෙනුත් එහෙම නේ. ඒ කියන්නේ මේ සමාජ දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න නොදැකීම ඒක ගැටලුවක්. අන්න ඒ ප්‍රවේශය ගත්තේ අපි සියලු ප්‍රශ්න විසඳන්න. ඒ නිසා මේක මහඟු අවස්ථාවක් අපි පෙන්නුම් කරනවා. රාජ්‍ය පැත්තෙනුත් ඔබව බඳවා ගැනීම සිද්ධ කරනවා වගේම පුද්ගලික අංශයටත් යම් ආයාචනාවක් ආරාධනාවක් කරනවා මේ ප්‍රශ්නය විසඳන්න ඔබත් මැදිහත් වන්නට ඕනේ කියලා.

මෙම සමාජ දෘෂ්ටි කෝණයෙන් ප්‍රශ්න නොදැකීම ගැටලුවක්. එම ප්‍රවේශය ලබාගත යුත්තේ සියලු ප්‍රශ්න විසඳන්න. එම නිසා මෙම වැඩසටහන මහඟු අවස්ථාවක් ලෙස පෙන්නුම් කරන්න පුළුවන්. රාජ්‍ය අංශයෙන් ඔබව බඳවා ගැනීම සිදුකරනවා සේම පුද්ගලික අංශයටත් යම් ආයාචනාවක්, ආරාධනාවක් කරනවා මේ ප්‍රශ්නය විසඳන්න ඔබත් මැදිහත් වන්න කියලා. 

අනෙක් විශේෂම කාරණය ලෙස, ආබාධිත නමුත් ආර්ථික ක්‍රියාවලියකට කැමැත්ත, , උනන්දුව සහ ඕනෑකම තිබෙන සියලුම දෙනාම එය ආර්ථික ක්‍රියාවලියට බද්ධ කරගන්න පුළුවන්. අපේ ආර්ථික ක්‍රියාවලියකින් භාණ්ඩයක් හෝ යම් නිශ්පාදනයක් ලෙස වටිනාකමක් එළියට ලැබෙනවා. දැනට තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් ලෙස ඒ භාණ්ඩයෙන් හෝ සේවාවෙන් එන සමස්ත වටිනාකම අපි කෙසේද බෙදා ගන්නේ කියන එක හඳුන්වන්න පුළුවන්. එම වටිනාකම් බෙදා ගැනීමේදී නීතියේ බලය, අධිකාරියේ බලය, කේවල් කිරීමේ බලය, වෙළෙඳපොල බලය සහ දේශපාලන සම්බන්ධතාවල බලය පාවිච්චි කරලා පුළුවන් කෙනාට වැඩි කොටසක් දීමත්, බැරිකෙනාට සොච්චමක් මුදලක් ලබාදීමක් තමයි තිබුණේ. මේ සඳහා ප්‍රධාන බාධකය ලෙස දේශපාලන යාන්ත්‍රණය හඳුන්වන්න පුළුවන්. නමුත් දැන් එම දේශපාලන යාන්ත්‍රණය නම් බාධකය අයින් කරලා තියෙනවා. එමනිසා ප්‍රතිලාභය සාධාරණ ලෙස ආබාධිත සහිත පුද්ගලයාටත් ලබාදී ඔහුගේ හැකියාවන් නිෂ්පාදන ක්‍රියාවලියට යොදාගෙන වටිනාකම වැඩි කරගැනීමට අප කටයුතු කළ යුතුයි.

සමස්ත සමාජයක් ලෙස හා අතීතය විශ්ලේෂණය කර බැලුවාම අපි දැඩි විශ්වාසයකින් කියන්න පුළුවන් ලෝකයේ තියෙන ශ්‍රේෂ්ඨ ජාතියක් බවට ශ්‍රී ලංකාව හරවන්න පුළුවන් කියලා. එමනිසා ඔබට දැනට පැවරිලා තියෙන මේ වපසරිය හා විෂය පථය තුළ විශේෂයෙන් මෙම ආබාධ සහිත පුද්ගලයන් සම්බන්ධයෙන් ඔබේ මැදිහත්වීම, කැපකිරීම, හැඟීම් වගේම තමන්ගෙම වැඩ කොටසක් ලෙස සිතා ඔවුන්ව සම්බන්ධ කරලා මේ කාර්යය කරගෙන යමු.

ආබාධ සහිත තැනැත්තන් සඳහා වූ පාර්ලිමේන්තු සංසදයේ සභාපති, පාර්ලිමේන්තු  මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා

රටේ ජනගහනයෙන් සියයට 8.7 ක්  ආබාධිත සහිත පුද්ගලයින් වෙනවා. අනිල් ජයන්ත ඇමැතිතුමා කිව්වා වගේ සියලුම ආබාධිතතාවයන් තක්සේරු කළාම ඒ ඉලක්කම ගොඩක් ඉහළට යනවා. හැබැයි අපි මේ සියයට 8.7න් ඒ වගේම තාම මේ අවුරුද්දට එන ජන හා සංඛ්‍යා ලේඛන දැක්කේ නැති නිසා අපිට අහුවුනේ නැහැ. මේ ප්‍රමාණයෙන් සියයට 71 දශම කිහිපයක් ආබාධිත සහිත පුද්ගලයන් රැකියා විරහිතව ඉන්නවා. එයින් කාරණා 2 ක් අදහස් වෙනවා. එකක්, ඔවුන්ව නඩත්තු කිරීමේ වගකීම රජයට, සමාජයට පැවැරෙනවා. 

අනික් පැත්තෙන් ඔවුන්ව රටේ සංවර්ධනයට දායක කරගැනීමට අවස්ථාවක් නොලැබීම. මේ දෙකම ඉතාමත් කණාගාටුදායක තත්ත්වයක්. අනිල් ජයන්ත ඇමැතිතුම කිව්වා වගේ ආබාධිත සහිත පුද්ගලයන්ට අභිමානය අවශ්‍යයි. ඒ අභිමානය අවශ්‍යය නම් එම අභිමානය කැඳවීමේ වගකීම සමාජයකට,රාජ්‍යයකට අත අරින්න බැහැ. ඔවුන්ට අභිමානය ගේන්න නම්, අනිවාර්යෙන්ම ආර්ථිකමය වශයෙන් ඔවුන් ශක්තිමත් කළ යුතුයි. බලගැන්විය යුතුයි.අන්න ඒකට ආණ්ඩුවක් විදියට, දේශපාලන ව්‍යාපාරයක් විදියට අපේ පූර්ණ කැපවීම සහ මැදිහත් වීම අපි එක්ව අත්නොහැර යන  ප්‍රතිපත්තිය තුල සටහන් කරලා තියෙනවා. මේ ප්‍රතිපත්ති උපදින්නේ අපේ සමාජය තුළින්මයි.  මේ සාමාජීයය අවශ්‍යතාවයන්  මේ ප්‍රතිපත්ති තුළ මූර්තිමත් වෙනවා. 

මේ ප්‍රතිපත්ති විසින් අපිව ශිෂ්ඨත්වයට අරන් යනවා . අපිව සංවේදීකරණයට අරන් යනවා. ඔබත් එක්ක සම අසුනේ සිටින කෙනාගේ දුක, වේදනාව,  වුවමනාව තේරුම් ගන්න අපි මනස අවදි කරගත යුතුයි. පාර්ලිමේන්තු මන්ත්‍රී සංසදය විදිහට අප මේ කටයුත්තේදී මුලින්ම කම්කරු අමාත්‍යංශයට පැමිණීම මොනතරම් අපූරු වටිනා දෙයක්ද කියලා හිතෙනවා. අනිල් ජයන්ත ඇමතිතුමාගේ, අමාත්‍යංශ ලේකම්තුමාගේ මේ සඳහා ඉදිරිපත් වුණු ඔබ සියලු දෙනාගෙන් මට ප්‍රත්‍යක්ෂ වුණා. ඒ ප්‍රත්‍යක්ෂ වීම මා තුල ජනනය කිරීමට ඉදිරිපත් වු ඔබට මගේ ගෞරවය හා ආචාරය පිරිනමනවා.  ඒ ගෞරවය සහ ආචාරය මම එසේ පිරිනමන්නේ ඔබ ආබාධ සහිත පුද්ගලයන්ට සුදුසු වැඩ ලෝකයක් නිර්මාණය කිරීමේ කම්කරු පාර්ශවයේ විශාල කාර්යභාරයක් කළ හැකි, කරන නිළධාරි කණ්ඩායමක් නිසයි.

අපිට  ප්‍රවේශය තියෙන්න ඕනේ. ප්‍රවේශය තියෙනවා නම් අපිට එළඹි  වැඩ කිරිමේ අවස්ථාව හැකියාව තියෙනවා. වැඩබිම, ආබාධ සහිත පුද්ගලයන්ට සැකසීමේ නිර්ණායක, නිර්මාණය කිරිමේ නිරීක්ෂණය කිරීම ඒ සඳහා ව්‍යවසායකයන් හාම්පුතුන් යොමු කිරිමේ හැකියාව සහ බලය විශේෂයෙන්ම සංවේදීතාවය ඔබ තුල ජනනය කරගැනීමේ වැදගත්කම මම තේරුම් ගත්තා. ඒ සංවේදීතාවය ඔබ තුළ තිබෙන බව මම දන්නවා. ඒකට වැඩි බරක් දමා වැඩි ජවයකින් අපි වැඩ කරමු. මේ ජනනය කිරීමෙන් මොකක්ද? සිදුවන වැඩේ. ආබාධ සහිත පුද්ගලයන්ට තමන්ගේ ජීවිතයට, තමන්ගේ කල්පනා ලෝකයට ඇතිවන හැඟීම මොකක්ද? මමත් සමාන පුරවැසියක්. මමත් මේ ආර්ථිකයට දායක වෙන පුද්ගලයෙක්. රටේ සංවර්ධනයට දායක වන කෙනෙක්. මම හුදු යැපෙන්නෙක් නොවේ. ඔබත් එක්ක ජීවත් වෙන පුද්ගලයා ඒ අභිමානය සහිතව ඔලුව කොන්ද කෙලින් තබාගෙන ජීවත් වෙනවා දකින විට ඔබ තුළ ඇතිවන හැඟීම මොකක්ද? වෘත්තීය තෘප්තිය තියෙන්නේ වැටුපේ නෙමෙයි. වෘත්තීය තෘප්තිය තියෙන්නේ ඔබත් එක්ක ජීවත් වෙන මේ ආබාධ සහිත පුද්ගලයන් රැකියාගත කිරීම හරහා ඔවුන්ගේ මුහුණට නැඟෙන සිනහව ඔබගේ ඇස් වලින් බැලුවාම ඔබට තෘප්තිය ජනනය වේවි. ඒකට මිලක් නැහැ. ඒ මිල නැති බව ඔබට සනාථ වන්නේ ඒ සිනහවෙන්, ඒ ඇස්වලින්, ඒ තෘප්තිමත් මුහුණෙන්. මේ තෘප්තිය දකින්න, සිනහව දකින්න, මේ දිලිසෙන ඇස් දකින්න ඔබට ආරාධනා කරනවා. ඒ සඳහා සංවේදීකරණය සඳහා තමයි මේ වේදිකාව නිර්මාණය වුණේ. මේ වැඩසටහන අතිශය වැදගත් ඔබගේ මනස අවදි වේවි. මේ ප්‍රජාව කෙරෙහි ඔබගේ යොමුව වැඩිවේවි. ඔබට වෘත්තීය තෘප්තිය විතරක් නෙමෙයි ඉන් එහාට ගිය මනුෂ්‍යත්වයේ මල් වට්ටියට අත තබාපු මානසික තෘප්තිය ඔබට ලැබේවි. එය අමිලයි.

කම්කරු අමාත්‍යංශ ලේකම් එස්. එම්. පියතිස්ස මහතා

මෙය අතිශය කාලෝචිත අවස්ථාවක්. රජය ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ දක්වලා තියෙනවා රැකියා අවස්ථා ලබා දීමේදි ආබාධ සහිත පුද්ගලයින් රාජ්‍ය අංශයට යම් ප්‍රතිශතයක් ගන්න කියලා. අපි මේ පිළිබඳව රාජ්‍ය ආයතන කිහිපයක්ම සමඟ කතා කරලා තිබුණා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයත් සමඟත් අපි කතා කතා කළා. පෞද්ගලික අංශයේ ආයතනවලින් අපි ඉල්ලීමක් කරනවා මේ අපේ ප්‍රජාවට රැකියා අවස්ථා ලබා දෙන්න කියලා. අපි රාජ්‍ය අංශත් මැදිහත් වෙලා ආදර්ශයන් දීමට පියවර ගන්නවා.