ඖෂධ 350 ක් සදහා පාලන මිලක් ගැසට් කරයි.

ඖෂධ වර්ග රැසකට පාලන මිලක් නියම කර ඇති බවත් ඉදිරියේදී ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කරන බවත් කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි. අද (18) කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා ඒ බව සඳහන් කළේය.

ඒ අනුව, අදාළ ගැසට් නිවේදනය මගින් ඖෂධ වර්ග 350ක පාලන මිල නියම කරන බවත් එම ගැසට් නිවේදනයට අනුගත නොවන අයට නීතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා පැවසීය.

දැනට ලියාපදිංචි වී ඇති සහ ඉදිරියේදී ලියාපදිංචිය සිදු වන්නාවූ ඖෂධ සඳහාද මෙම නිවේදනය අදාළ වන බව ඔහු වැඩිදුර සඳහන් කළේය..

“අපි ඉදිරිපත් කළ අලුත් ගැසට් නිවේදනය අනුව මෙතැන් සිට ලියාපදිංචි කරන ලද සියලුම ඖෂධවල මිල අඩු වෙනවා. ඒ අනුව ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ ගැසට් නිවේදනය ක්‍රියාත්මක කරන්න ගත්තට පස්සේ ලියාපදිංචි කරන ලද ඖෂධ සම්බන්ධයෙන් තමයි ඔය ඉලක්කම නිකුත් කරලා තියෙන්නේ. ඒ අනුව ලියාපදිංචිය සිදුවන කාලසීමාවට තව වැඩි කාලයක් ගත වෙන්නෙ නෑ. තව මාස කිහිපයක් ගත වන විට ලංකාවේ භාවිතා කරන සියලුම ඖෂධ පාහේ ලියාපදිංචි කිරීමේදී මෙම මිල සූත්‍රයට අනුව තමයි ලියාපදිංචිය සිදු වන්නේ”

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවසීය .