නීතීඥ ගුනරත්න වන්නිනායක සමථ වීම ප්‍රතික්ෂේප කරයි

පසුගියදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණ භූමියේදී පොලිස් කොස්තාපල්වරයෙකු සහා ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා අතර ඇති වූ සිද්ධියට අදාළව තමන්ට සමත විය නොහැකි බවත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන ලෙසටත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණය හමුවේ අද (17) කියා සිටියහ.

සාක්ෂි සම්පින්ඩන වාර්තා හයක් සමඟ වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් ගල්කිස්ස පොලිසිය පවසා සිටියේ පසුගිය නොවැම්බර් 8 වන දින සමථ මූල මණ්ඩලය වෙත දෙපාර්ශවයම කැඳවා තිබුණද පොලිස් කොස්තාපල්වරයා පමණක් සමථ මූල මණ්ඩලයට පැමිණි බවත් ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක නොපැමිණි බවත් ය .

පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකතනය මඟින් පටිගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී තැටිය හා බන්ධනාගාර බස් රථයේ ඇති කැමරාවෙන් පටිගත වී ඇති දර්ශන ඇතුලත් ඩීවීආර් යන්ත්‍රය රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමටද විමර්ශන නිලධාරීන් ගල්කිස්ස අතිරේක මහෙස්ත්‍රාත් හේමාලි හාල්පන්දෙනියගෙන් ඉල්ලා සිටියහ.

එහිදී සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායක වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ උපුල් ජයසූරිය මෙසේ පැවසීය.

උපුටා ගැනීම

“මැතිනියනි, සිද්ධිය වූ අවස්ථාවේදී එය පටිගත කරන ලද දර්ශන ඇතුළත් සී.ඩී පට සමග සිද්ධිය පටිගත කරන ලද කොස්තාපල්වරයාට අයත් ජංගම දුරකථනයද රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කළ යුතුයි.ජංගම දුරකථනය රස පරීක්ෂක වෙත ලබා නොදෙන්නේ නම් මෙම පටිගත කරන ලද තැටිද රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමට අප විරුද්ධයි. රජයේ රස පරීක්ෂකවරයා වෙත මෙම සී.ඩී තැටි යොමු කරන්නේ නම් එය පොලිස් නිලධාරීන් විසින් නොව අධිකරණ නිලධාරියකු මගින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙසටද අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.”

මෙහිදී විමර්ශන නිලධාරියා විසින් අධිකරණය හමුවේ මෙසේ පැවසීය.

උපුටා ගැනීම

මැතිනියනි,

“මේ වනවිට පොලිස් කොස්තාපල්වරයා ස්ථාන මාරුවක් ලබා නුවර ප්‍රදේශයේ රාජකාරී කිරීම හා මෙම ජංගම දුරකථනය ඔහුගේ පෞද්ගලික දුරකථනය බැවින් එය රස පරීක්ෂකවරයා වෙත යැවීමට කටයුතු නොකළ අතර පොලිස් කොස්තාපල්වරයාගේ ජංගම දුරකථනය මගින් බාගත කරන ලද දර්ශන ඇතුළත් සීඩී පට තුනක් දිවුරුම් ප්‍රකාශයක් මගින් අධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.”

මෙම නඩුවට අදාළව එකී දර්ශන ඇතුළත් වීඩියෝ සාක්ෂි ප්‍රබල සාක්ෂියක් වන බවත් අදාළ සී.ඩී තැටි හා ඩී.වී.ආර් යන්ත්‍රය අධිකරණ රෙජිස්ටර්වරයා විසින් නම් කරන ලද අධිකරණ නිලධාරියකු විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කොට අදාළ ජංගම දුරකථනය ද පරීක්ෂා කිරීමට අවශ්‍යතාවයක් ඇත්තේ ද යන්න අධිකරණ නිලධාරියා මගින් එදිනම සංදේශයක් මගින් අධිකරණයට දන්වන ලෙසටද මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

ඒ අනුව සැකකාර ජ්‍යෙෂ්ඨ නීතිඥ ගුණරත්න වන්නිනායකට එරෙහිව ඇති නඩුව පෙබරවාරි මස 02 වන දිනට නැවත කැඳවීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

සැකකාර පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව ඇති නඩුවේදී පොලිස් කොස්තාපල් තරින්ද දිල්හාර නිලධාරියා සම්බන්ධයෙන් මානසික රෝග වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට ගල්කිස්ස මහේස්ත්‍රාත්වරයා විසින් පසුගිය ඔක්තෝබර් 10 වන දින බන්ධනාගාර අධිකාරිවරයාට කරන ලද නියෝගයට අනුව වෛද්‍ය වාර්තාවක් මෙතෙක් අධිකරණය වෙත නොලැබී ඇති අතර අධිකරණ නියෝගය ක්‍රියාත්මක කර ඇත්ද යන්න සම්බන්ධයෙන් බන්ධනාගාර අධිකාරිවරයා විසින් මෙම අධිකරණය වෙත නොවැම්බර් 19 වන දින ලිඛිතව කරුණු වාර්තා කරන ලෙසට මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එහිදී සැකකාර පොලිස් කොස්තාපල්වරයා වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කමල් සිල්වා මෙසේ පැවසීය.

මැතිනියනි,

“පොලිස් කොස්තාපල්වරයා මේ වන විටත් නුවර ප්‍රදේශයේ පොලිස් රාජකාරියේ නියුතුව සිටින හෙයින් ඉතාමත් ඉක්මනින් මානසික රෝග සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තාව කැඳවන ලෙසට ඉල්ලා සිටිනවා.”

ඒ අනුව එම නඩුව නැවත නොවැම්බර් මස 19 වන දිනට කැඳවීමට නියමිතයි.