හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට බ්‍රිතාන්‍යයේ වොල්වර්හැම්ප්ටන් විශ්වවිද්‍යාලය විසින් එවා ඇතැයි කියන ආරාධනාව සත්‍ය එකක්දැයි සොයා තහවුරු කරගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත . ඒ අනුව එම දෙපාර්තමේන්තුවේ පංචපුද්ගල කණ්ඩායමක් මේවන විටත් එරටට ගොස් ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරයි .
කෙසේ වෙතත් මෙම කණ්ඩායම මෙසේ බ්‍රිතාන්‍ය බලා පිටත්ව ගොස් ඇත්තේ නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් කිරීමකින් තොරව බවත්, ඒ සඳහා නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගෙන නැති බවත් එම වාර්තාව සඳහන් කරයි . නීතිපති පරින්ද රණසිංහ, අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වසන්ත පෙරේරා ඇතුළු නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨතම නිලධාරීන් කිසිවකු මෙම සංචාරය පිළිබඳව දැනුවත් වී නොසිටි බව දෙපාර්තමේන්තු ආරංචි මාර්ග තහවුරු කර ඇතැයි මෙම වාර්තාව වැඩි දුරටත් සඳහන් කරයි .
නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු ප්‍රධානත්වයෙන් යුත් මෙම කණ්ඩායමට සහකාර පොලිස් අධිකාරීවරයෙකු , ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකු සහ තවත් කනිෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් දින පහක සංචාරයක් සඳහා මේ සතිය මුලදී එක්සත් රාජධානිය බලා පිටත්ව ගොස් ඇත. නීතිපති දෙපාර්තමේන්තුව දැනුවත් නොකර ස්වාධීනව මෙම කණ්ඩායම යැවීමට අපරාධ පරීක්සන දෙපාර්තමේන්තුව තීරණය කර ඇතිබව වාර්තා වේ .
CID කණ්ඩායම විසින් හෙට දින (17) එක්සත් රාජධානියේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් සරෝජා සිරිසේනගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට නියමිතය. රනිල් වික්‍රමසිංහගේ එංගලන්ත සංචාරය අවදියේ බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ලෙස කටයුතු කළේ ඇයයි . ඇය තවමත් එරට පදිංචිව සිටී .