වැඩිහිටියන් පස් දෙනෙකුගෙන් එක අයෙකුට දියවැඩියාව .

ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහනයෙන් සෑම පස් දෙනෙකුගෙන් එක් අයෙකු දියවැඩියාව රෝගයට මුහුණ දී සිටින බව සෞඛ්‍ය අංශ පවසයි.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වූ ශ්‍රී ලංකා ජාතික අක්ෂි රෝහලේ විශේෂඥ වෛද්‍ය කපිල බන්දුතිලක අනාවරණය කළේ දියවැඩියාව වැළඳී ඇති වැඩිහිටි ජනගහනයෙන් තුනෙන් එකක් අක්ෂි රෝගවලටද ලක්ව ඇති බවය.

“අලුතින් තියෙන දත්ත අනුව, සාමාන්‍ය දියවැඩියා රෝගීන්ගෙන් 73% ක වර්ධනයක් වර්තමානයේ අපි දකිනවා. ලෝකේ ජනගහනයෙන් වැඩිහිටියන්ගෙන් 1/9 කට දියවැඩියාව තියෙනවා කියලා හඳුනාගෙන තියෙනවා. ලංකාවේ දියවැඩියාව කොච්චර තියෙනවා ද කියලා බැලුවොත් වැඩිහිටියන්ගෙන් දියවැඩියාව තියෙනවා 23%ක් 30%ක් අතර වගේ කියලා කියන්න පුළුවන් . ඒ කියන්නේ සෑම වැඩිහිටියන් පස්දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව තියෙනවා.

ඒ පිරිසෙන් 1/3 කට අක්ෂි රෝග තියෙනවා. ඒ පිරිසෙන් 11% කට ප්‍රතිකාර නොකළොත් අන්ධ වෙනවා. දියවැඩියාව විශේෂයෙන් ඇසට බලපානවා. ඒ නිසා විශේෂයෙන්ම හානි වෙන්නේ අපේ වැඩ කරන ජනතාවට. සාමාන්‍යයෙන් අවුරුද්දකට මිලියන 923 ක් උපයන ආදායම අහිමිවෙනවා. දැන් අක්ෂි රෝහලට ගිහින් බැලුවොත් බහුතරය වයසක අය නෙමෙයි. බොහෝ දෙනෙක් වයස 40ත් 50ත් අතර අය.

මේ රෝගය අපිට වළක්වා ගන්න පුළුවන්. මේ මිනිස්සුන්ට අන්ධ වෙන්න හේතුවක් නෑ. මුල් අවස්ථාවේ දී පාලනය, ආහාර පිළිවෙල වෙනස් කිරීම වගේ ඒවාගෙන් නවත්වන්න පුළුවන්. අපි හිතමු නවත්ත ගන්න බැරි වුණා කියලා ඒත් මේ රෝගයේ මුල් අවස්ථාවේ වගේ අවොත් අපිට කරන්න ප්‍රතිකාර ක්‍රම තියෙනවා.” වෛද්‍ය වෛද්‍ය කපිල බන්දුතිලක පවසීය .