මහවැලි ලොක්කෙක් අල්ලන කළින් අපේක්ෂිත ඇප ඉල්ලයි .

රාජ්‍ය දේපළ සාපරාධී සාවද්‍ය පරිහරණය සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට එරෙහිව පවතින විමර්ශනවලට අදාළව, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කීර්ති බී. කොටගම අපේක්ෂිත ඇප අයැදුමක් ගොනු කර ඇතිබව වාර්තා වේ .

එම අයැදුමට අදාළ විරෝධතා ලබන මස 18 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම විසින් අල්ලස් කොමිසමට ඊයේ නියෝග කරනු ලදි.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුගේ නීතීඥ හංසි අතුකෝරළ අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, අල්ලස් කොමිසමේ අත්අඩංගුවට පත්වීම සම්බන්ධයෙන් සිය සේවාදායකයාට සාධාරණ සැකයක් මතුව ඇති බවයි.

හිටපු අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා සම්බන්ධයෙන් සිදු කරන ලද විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා දෙන ලෙසට අල්ලස් කොමිසම විසින් සිය සේවාදායකයාට දැනුම් දී ඇති බව නීතිඥවරිය අධිකරණයට දන්වා සිටියාය . එවැනි අවස්ථාවකදී අත්අඩංගුවට පත් වුවහොත් ඇප ලබාගත හැකි වන පරිදි පූර්ව ඇපයක් නියම කරන ලෙසට නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

පෙත්සම්කරු ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස කටයුතු කළ අයෙක් බවත්, හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂට වන්දි මුදල් ප්‍රදානය කිරීම සම්බන්ධයෙන් කිසිදු බලපෑමක් සිදු කර නොමැති බවත් සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළ නීතිඥවරිය පවසා සිටියා.

කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, වගඋත්තරකාර අල්ලස් කොමිසමට ලබන 18 වන දින අධිකරණය ඉදිරියේ පෙනී සිට කරුණු දක්වන ලෙසට නොතීසි නිකුත් කළ අතර, පෙත්සම සම්බන්ධයෙන් විභාගය එතෙක් කල් තබන ලදි .