අපරාධ මැඩලීමේ පියවරක් ලෙස ව්‍යාපාරික ස්ථාන සහ නිවාසවල සවිකර තිබෙන CCTV කැමරා පද්ධතිවල දර්ශන එම ස්ථානවල හිමිකරුවන්ගේ කැමැත්ත ඇතිව නිරීක්ෂණය කිරීම ළඟදීම ඇරඹීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරමින් සිටිනවා.
මේ යටතේ ඔවුන් නිරීක්ෂණය සඳහා යොදා ගැනීමට නියමිතව ඇත්තේ ප්‍රධාන මාර්ග සහ පොදු ස්ථානවලට මුහුණලා ඇති කැමරා දර්ශන පමණයි.
අපරාධ කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පවසන්නේ පොලිසිය මේ වන විට CCTV දර්ශන නිරීක්ෂණය කිරීමට භාවිත කළ හැකි යෙදවුමක්(App) නිපදවමින් සිටින බවයි.
ප්‍රධාන මාර්ගවලට මුහුණලා ඇති තෝරාගත් කැමරාවලට ප්‍රවේශය ලබාදීමේදී අපරාධ සහ රථවාහන වැරදිකරුවන් මර්දනය කිරීමට ඉවහල් වන බැවින් මහජන සහයෝගය අපේක්ෂා කරන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසනවා.
පොලිසිය සහ රාජ්‍ය ආයතන විසින් සවිකර ඇති කැමරාවලින් CCTV දර්ශන නිරීක්ෂණය කිරීමෙන් පසුව අපරාධ සහ රථවාහන වැරදි මැඩලීමේදී ලබා ඇති සාර්ථකත්වය සැලකිල්ලට ගනිමිනුයි මෙම පියවර ගෙන ඇත්තේ.
පැය 24 පුරා CCTV දර්ශන අධීක්ෂණය කරන පොලිසියේ මෙහෙයුම් මැදිරිය අපරාධ නඩු විසඳීමට දායක වී රථවාහන වැරදිකරුවන්ට එරෙහිව නඩු පැවරීමට හේතුවක් වී තිබෙනවා.
CCTV දර්ශන නිරීක්ෂණය කර වාහන හිමිකරු දැනුවත් කිරීමෙන් පසු මාර්ග නීති කඩකරන්නන්ට එරෙහිව නඩු පැවරීමේ ක්‍රමවේදයක් පෙබරවාරි මාසයේදී පොලිසිය විසින් හඳුන්වා දුන්නා.
නව ක්‍රමය හඳුන්වාදීමෙන් පසු මාර්ග නීති කඩකර කැමරාවලට හසුවූ පුද්ගලයන් 4,354 දෙනෙකුට එරෙහිව මේ වන විට නඩු පවරා තිබෙනවා.
එසේම මෙහෙයුම් මැදිරිය රථවාහන වැරදි සම්බන්ධයෙන් නඩු 82,438ක් ගොනු කර තිබූ අතර CCTV කැමරා සවිකළ ජංගම ඒකකය මගින් මාර්ග නීති කඩ කිරීම් 38,075ක් අනාවරණ කරගෙන තිබෙනවා.
මෙහෙයුම් මැදිරිය සහ ජංගම ඒකකය යන දෙකම අපරාධ නඩු 2,313ක් විසඳීමට උපකාර වුණා.