රණවිරුවන්ට සින්නක්කර ඔප්පු දීම ජුලි මස වන විට අවසන් – ජනපති

රණවිරු ගම්මානවල ජීවත්වන රණවිරුවන්ට “උරුමය” ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඉඩම් ඔප්පු ලබා දෙන බවත් අද රට දියුණු කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ එදා රණවිරුවන් රට ආරක්ෂා කර දුන් නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්‍ල, අකුරේගොඩ ආරක්ෂක අමාත්‍යාංශ මාවතේ ‘ප්‍රවීණයන්ගේ නිවහන’ ශ්‍රී ලංකා සේවා මුක්ත භට සංගමයේ මුලස්ථාන සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට අද (22) පෙරවරුවේ එක්වෙමින්.

සේවයෙන් විශ්‍රාම ලබන ආරක්ෂක හමුදා සාමාජිකයන්ගේ ජීවන තත්ත්වය නගා සිටුවීම වෙනුවෙන් නව වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි දී පැවසුවා.

ඒ වෙනුවෙන් නිශ්චිත වැඩපිළිවෙළක් නොතිබීම හේතුවෙන් ඇතැම් අවස්ථාවල ඛේදනීය තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර කටයුතු කිරීමට ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයාට, ආරක්ෂක අමාත්‍යාංශයට සහ රණවිරු සේවා අධිකාරියට උපදෙස් දී ඇති බව ද සඳහන් කළා.

විශ්‍රාමික රණවිරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් රජය විශේෂ අවධානයකින් කටයුතු කරන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරියේ දී ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත්, ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීම හා සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරන බවත් කියා සිටියා.

සමරු ඵලකය නිරාවරණය කර ‘ප්‍රවීණයන්ගේ නිවහන’ විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසුවා.

රණවිරු ගම්මානවල ජිවත්වන රණවිරුවන්ට තවම එම ඉඩම් අයිතිය ලැබී නැහැ කියා මට දැන ගන්න ලැබුණා. ඇතැම් අය පොරොන්දු ලබා දුන්නට එම පොරොන්දු ඉටු කර නැහැ. ඒ නිසා ඉදිරි මාස දෙක තුළ මෙම වැඩකටයුතු අවසන් කර එම සියලුදෙනාට උරුමය ජාතික වැඩසටහන යටතේ සින්නක්කර ඔප්පු ලබා දීමට ජනාධිපති ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම්, රණවිරු සේවා අධිකාරියේ සභාපති සහ ඉඩම් කොමසාරිස්වරයාගෙන් සමන්විත කමිටුවක් පත් කර තිබෙනවා.

ඒ අනුව මෙම ජුලි මාසය වන විට උරුමය ජාතික වැඩසටහන යටතේ එම කටයුතු අවසන් කිරීමට හැකිවනු ඇති බවට කිසිදු සැකයක් නැහැ. ඒ වගේම සන්නද්ධ හමුදාව සහ ජාතික ආරක්ෂාවේ අනාගතය පිළිබඳ අපගේ අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව 2030 දක්වා අවශ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳ වෙනම උපදේශක කමිටුවක් පත් කර තිබෙනවා. ඉදිරියේ දී එම වාර්තාව ලැබෙනු ඇතැයි මම බලාපොරොත්තු වන අතර සියලුදෙනාට ඒ පිළිබඳ සාකච්ඡා කර අදහස් ලබා දීමට අවස්ථාව සැලසෙනවා.

2030 වන විට මෙරට ජාතික ආරක්ෂාව තුළ ඇති වන තත්ත්වයන්ට මුහුණ දීමට අප සූදානම් විය යුතුයි. එහිදී ත්‍රිවිධ හමුදාවේ වගකීම් හදුනාගෙන නිසි සැලැස්මක් අනුව රටේ සම්පත් ප්‍රයෝජනයට ගනිමින් ඉදිරියට යා යුතුයි. ඒ සමඟම ආරක්ෂක විශේෂ විධිවිධාන පනත ඉදිරිපත් කිරිමට ද මම බලාපොරොත්තු වෙනවා.

විශේෂයෙන්ම ජාතික ආරක්ෂක සභාව නීතිගත කිරීමට පාස්කු ඉරිදා කොමිෂමේදීත් සඳහන් කළා. එය කිරීම අවශ්‍යයි. එය නීතිගත කිරීමට වගේම සන්නද්ධ හමුදා කමිටුව පත් කිරීමටත් කටයුතු කරනවා.

ඒ වගේම සන්නද්ධ සේවයේ නිරත වන පිරිසටත්, විශ්‍රාම ලැබු පිරිසට වගේම සිවිල් පාර්ශ්වයන්ටත් යුද උපක්‍රම පිළිබඳ අධ්‍යයනය කිරීමට Sri Lanka Institute of strategic studies නමින් වෙනම ආයතනයක් ඇති කරනවා. ඒ අනුව කැමති පිරිසට එම වැඩකටයුතු සඳහා සහභාගි විය හැකියි.මෙම ආරම්භ කර තිබෙන වැඩ කොටස සමග ආරක්ෂක හමුදාව ප්‍රතිව්‍යුගත කිරීම සිදු වෙනවා.

පසුගිය දුෂ්කර කාලපරිච්ඡේදය තුළ වැඩිපුරම පීඩාවට පත්වූයේ විශ්‍රාම ලැබු පිරිස බව පිළිගත යුතුයි. මෙම එක් එක් අංශ වෙනුවෙන් ලබාදිය යුතු සහන මොනවාද කියා අප සාකච්ඡා කළයුතුයි.

එක් නිලයකට, එක් විශ්‍රාම වැටුපක් ලබාදීමේ ක්‍රමවේදය දැනටමත් ක්‍රියාත්මක වෙනවා. අනෙක් වැඩකටයුතු පිළිබඳ අප අවධානය යොමු කර තිබෙන අතර මෙම සංගමයේත්, රණවිරු සේවා අධිකාරියේත් සුබසාධන කටයුතු පිළිබඳ අදහස් සහ යෝජනා ලබා ගැනීමට මම කැමතියි. රණවිරු අධිකාරිය තුළ එම සුබසාධන වැඩකටයුතු ක්‍රියාත්මක කිරීමට අප කටයුතු කරනවා.

ඒවගේම සේවය අවසන් කරන අය පිළිබඳ අප ගත යුතු පියවර කුමක්ද කියා අවධානය යොමු කර තිබෙනවා. ඔවුන්ට නව ආදායම් මාර්ගයක් සළසා ගැනීමට තිබෙන අවස්ථා මොනවාද කියා සොයා බැලිය යුතුයි. එම අවස්ථාව නොතිබීම නිසා ඇතැමුන් රුසියාවට යාමට තීරණය කළා.

තමන්ගේ හැකියාව අනුව රට තුළ හෝ විදේශගතව හොඳ ආදායම් මාර්ගයක් උපයා ගැනීම සඳහා අවස්ථාව සලසා දිය යුතුයි. හමුදා සේවයෙන් විශ්‍රාම ලබන පිරිස් තුළ විශේෂ දක්ෂතා තිබෙනවා. රටේ ආර්ථික දියුණුවත් සමඟ අප ඔවුන්ට නව අවස්ථා සලසා දිය යුතුයි. අද රටේ ආර්ථිකය දියුණුව කරා ගෙන යාමට අපට අවස්ථාව ලැබී තිබෙන්නේ එදා රණවිරුවන් රට ආරක්ෂා කර දුන් නිසයි.

ඒ වගේම අද අප මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර තිබෙන්නේ තවත් යුද්ධයක් අවසන් කිරීමෙන් පසුවයි. රටේ ඒකීයභාවයට එක් තර්ජනයක් වුණේ ත්‍රස්තවාදයයි. ඒ වගේම රට තුළ සිදු වූ දරුණු ආර්ථික කඩා වැටීම රටේ ඒකීයභාවයට තවත් තර්ජනයක් වුණා. මෙම තත්ත්වය තවදුරටත් පැවතියා නම් අපේ රට ආර්ථිකයක් නැති රටක්, එනම් තවත් ලිබියාවක් බවට පත් වෙනවා.

අපේ රට දැන් ආර්ථික වශයෙන් ගොඩ එමින් තිබෙනවා. බංකොළොත්භාවයෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වීමට අදාළව අප දැන් ණය ලබා දුන් රටවල් සමඟ සාකච්ඡා කරමින් සිටිනවා. එම කමිටුවත්, චීනයත් අපේ යෝජනා සාකච්ඡා කර පිළිගැනීමට සූදානමින් සිටිනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනටමත් එය පිළිගෙන අවසන්. ඉන්පසුව එම රටවල් සමඟ වෙන වෙනම ගිවිසුම් අත්සන් තැබීමට කටයුතු කරනවා.

ඒ වගේම පුද්ගලික ණයකරුවන් සහ බැංකු, විශ්‍රාම වැටුප් අරමුදල් ඇතුළු සියලු පාර්ශ්ව සමඟ සාකච්ඡා කර එකඟතාවකට පැමිණිය යුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එකඟතාව තිබෙන නිසා අපට ඉදිරියට යා හැකියි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් මෙම ජුනි මාසයේ මෙරටට පැමිණීමෙන් පසු අප ඒ පිළිබඳ සාකච්ඡා කරනවා. ඉන්පසුව 2025 අය වැය සමඟ මෙම වැඩපිළිවෙළ ඉදිරියට ක්‍රියාත්මක කරනවා. මැතිවරණ පැවැත්වෙන නිසා එම අය වැය ජනවාරි මාසයේ නැත්නම් පෙබරවාරි මාසයේ දී ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.”