රට තවත් දුෂ්කරතාවට – රනිල් අනතුරු ඇඟවූ විශේෂ සාකච්ඡාව(VIDEO)

වර්ෂ 2055 වන විට ඇමරිකානු ඩොලර් ට්‍රිලියනයක ආර්ථිකයක් ළඟා කර ගැනීමේ ඉලක්කය අනුගමනය කරන ලෙස හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටී.


විද්‍යුත් නාලිකා සමඟ සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා, ඉන්දියන් සාගරය කේන්ද්‍ර කර ගනිමින් ආසියාව දෙසට ගෝලීය බල පෙරළියක් වෙමින් පවතින බව පෙන්වා දුන්නේ ය.


ශ්‍රී ලංකාව එයින් ප්‍රයෝජන ගැනීමට අපේක්ෂා කළ යුතු බව ද රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාව මෙම අභිලාෂකාමී ඉලක්කය අනුගමනය කිරීම පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉහත ඉලක්කය සපුරා ගැනීම සඳහා ඉදිරි වසර 30 තුළ රටේ ආර්ථිකයේ දස ගුණයක වර්ධනයක් වාර්තා කළ යුතු බවය.


කෙසේ වෙතත් මෙය ඒ කාලසීමාව තුළ ඉන්දියාව විසින් තමන් වෙත තබා ඇති සමාන ඉලක්කයක් වන බැවින්, එසේ කිරීමේ හැකියාව ඉහළ මට්ටමක පවතිතැයි ද හිටපු ජනාධිපතිවරයා තවදුරටත් පැවසීය.


සම්මුඛ සාකච්ඡාවේදී තවදුරටත් අදහස් දැක්වූ හිටපු ජනාධිපතිවරයා මෙසේද කීවේය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය වත්මන් බිඳෙන සුලු තත්ත්වයෙන් ඔබ්බට ගමන් කිරීමට නම් ඉන්දීය ආර්ථිකය සමඟ ඒකාබද්ධ වීම සහ සහයෝගීතාව ප්‍රමුඛතාවක් විය යුතුයි.


2022-24 මගේ ධුර කාලය තුළ දකුණු ඉන්දියාව කෙරෙහි අවධාරණය කරමින් පුනර්ජනනීය බලශක්තිය, කෘෂිකර්මාන්තය සහ සම්බන්ධතා යන ක්ෂේත්‍ර ඇතුළුව ඉන්දියාව සමඟ ආර්ථික සහයෝගීතාවයට අදාල මාර්ග කිහිපයක්ම ගවේෂණය කළා.


මන්නාරමේ අදානි සමාගමේ පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යාමට රජය අපොහොසත් වීම පිළිබඳව කණගාටු වනවා.


අදාළ පාර්ශවකරුවන් ,ඉන්දීය ආයෝජකයින් ඇතුළු ශ්‍රී ලංකා රජය ගෙන ඇති ක්‍රියාවලිය මගින් දැනටමත් එකඟ වී ඇති ව්‍යාපෘතියක් නැවත සාකච්ඡා කිරීමට මාලිමා ආණ්ඩුව දරන උත්සාහය පිටුපස ඇති තාර්කිකත්වය කුමක් ද?


අනාගත මහා පරිමාණ ආයෝජන ව්‍යාපෘති සඳහා මෙය බාධාවක් වනු ඇති.ඒ ගැන මගේ කනස්සල්ල පළ කරනවා. මගේ රජය හඳුන්වා දුන් ප්‍රතිපත්ති ඉදිරියට ගෙන යන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා යැයිද ප්‍රකාශ කළේය.


ශ්‍රී ලංකාව සඳහා ඇති එකම විකල්පය IMF වැඩසටහන දැයි ප්‍රශ්න කෙරුණු විට ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් සහ ද්විපාර්ශ්වික ණය හිමියන් සමඟ ණය සාර්ථකව ප්‍රතිව්‍යුහගත කිරීමේ හැකියාව IMF සහතිකයක් මත රඳා පවතින බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ අවධාරණය කළේය.


රටවැසියන් තවමත් ආර්ථික අර්බුදයෙන් පීඩා විඳිමින් සිටින බව සිහිපත් කළ හිටපු ජනාධිපතිවරයා තම වැඩපිළිවෙළ සම්පූර්ණ නොකළහොත් රට තවත් දුෂ්කරතා වලට මුහුණ දෙන බව ප්‍රකාශ කළේය.