දැන් මාධ්‍ය මුර බල්ලෙක් විදියට බුර බුර ඉඳලා වැඩක් නැහැ

දැන් මාධ්‍ය කටයුතු කළ යුත්තේ මුරබල්ලකු ලෙස නොවන බවත් සමාජයේ පෙර ගමන්කරුවෙකු ලෙස බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (8) ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික් මාධ්‍ය සංසදය පිහිටුවීමේ අවස්ථාවට සහභාගි වෙමින්.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේ ද පැවසුවා.

දශක ගණනක් තිස්සේ ජාතික ගීය දෙමළ බසින් ගයන්න අයිතියක් නොතිබුණු රටක් මේක. 2015 ඉඳලා තමයි දෙමළ මාධ්‍යයෙන් ජාතික ගීය ගායනා කරන්න අවස්ථාව ලැබුණේ. එදා රනිල් වික්‍රමසිංහ මහතා අගමැතිවරයා හැටියට පත්වෙච්ච වෙලාවේ ගත්ත තීන්දුවක් ඒක. එදා ඒ තීන්දුව නොගත්තනම් අද ටිකෙන් ටික මේ දැන් ළං වීම සිදුවන ජාතීන් අතර ඇති එකමුතුව සිදු නොවන්න තිබුණා.  ජාතික සමගිය ඇති කරන්න ගත්ත ඉතාමත් වැදගත් තීන්දුවක් ඒක.

අනෙක් ජාතීන්ගේ අභිමානය පිළිබඳව, ඔවුන්ගේ හැඟීම් පිළිබඳව නිතරම කල්පනා කරන්න ඕනේ.

මේ වසරට ලාංකිකයන් එක් ලක්ෂ තිස් දහස්තුන්සිය තිස් හතක් ශ්‍රමිකයන් විදිහට විදේශගත වෙලා තියෙනවා. ඒ අතරින් පිරිමි පාර්ශ්වය 74577ක් සහ කාන්තාවන් 55760ක් විදෙස්ගත වෙලා තියෙනවා.

හැමදාම කියන්නේ කාන්තාවන් වැඩියෙන් රට යනවා කියලනේ. දැන් පිරිමි පාර්ශ්වයෙන් තමයි වැඩිම විදෙස් ශ්‍රමිකයන් ඉන්නේ. හොඳ වැටුප ගන්නා රැකියාවන්ට තමයි මේ අවුරුද්දේ වැඩියෙන්ම පිටත් වෙලා ගිහින් තියෙන්නේ.

කොරියාව, ඊශ්‍රායලය, ජපානය වගේ රටවල්වලට වෙනත් වර්වලට සාපේක්ෂව වැඩි ප්‍රමාණයක් විදෙස් ගතවෙලා තියෙනවා.

ඔබේ පළාතේ ඉන්න ඕනෑම විගමනික ශ්‍රමිකයකුට, රට ගිහින් ආපු ඕනම කෙනෙකුට ස්වයං රැකියාවක් කරන්න අවශ්‍ය ශක්තිය දෙන්න ස්වයං රැකියා ආධාර ලබාදෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශය සූදානමින් ඉන්නවා.

රුපියල් 50000.00 පටන්ගෙන 100000.00ක්දක්වා ඒ අයට අපි ප්‍රදානයක් කරනවා. ණය නෙමෙයි ප්‍රදානයක්.

ඒවගේම විදේශගත ශ්‍රමිකයන්ට ලක්ෂ විසිපහක් ඕනෑම වැඩකටයුත්තකට අඩු පොලියට ණයක් ලබා දෙනවා. විදේශගත ශ්‍රමිකයන් අපට කළ සේවය වෙනුවෙන් ඔවුන්ට හරසර පුදන්නයි මෙම කාර්යයන් සිදු කරන්නේ.

ඔවුන්ගේ පවුල්වලට පවා අපි වෛද්‍යාධාර, සෞඛ්‍ය පහසුකම් ඒ වගේම ඔවුන්ගේ දරුවන් රැකබලා ගන්න කටයුතු කරලා තියෙනවා.

ඒ වගේම අපේ දැවැන්ත බලාපොරොත්තුවක් තියෙනවා මේ පිටරටට යන අය ව්‍යවසායකයෝ බවට පත් කරන්න.මේ රටේ නිෂ්පාදන ආර්ථිකයක් හදන්න නම් ඒකට හොඳම ක්‍රමවේදය තමයි පිටරට ගිහිල්ල දැනුමත්, සල්ලිත් අරගෙන එන අය ව්‍යවසායකයෝ බවට පත්කරන එක. ඒ සඳහා සුවිශේෂී වැඩපිළිවෙලක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් සිදුවෙනවා.

ඒ වගේම විගමනික ශ්‍රමිකයන්ගේ පවුල්වල අයට අපි ගම් මට්ටමින් කමිටු හදල තියෙනවා.  අපි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විගමනික ශ්‍රමික සංගම්වල නියෝජිතයන් හමුවුණා.අපි කොච්චර කිව්වත් අහුවෙන්න එපා කියලා මොනතරම් ප්‍රචාරණ කටයුතු කරත් බොහොම ඉක්මනින් කට්ටිය අහුවෙනවා. හොරුන්ට වංචාකාරයන්ට. එය නතර කරගන්න ගම් මට්ටමින් ඉන්න ශ්‍රමිකයන්ට අපි භාර දුන්නා අනිත් අයව දැනුවත් කරන්න.

ඒ වගේම පිටරටකදී කරදරයක් වුණහම මුලින්ම කරන්නේ ඒ ගැන මාධ්‍යයට කියන එක. ඔව් මාධ්‍යටත් කියන්න ඕනේ. නමුත් ඒකට විසඳුමයි මුලින් හොයාගන්න ඕනේ. එහෙම දෙයක් උනොත් කටයුතු කරන්න ඕන ආකාරය විදේශ සේවා නියුක්ති කාර්යාංශයට පැමිණිලි කරන්න ක්‍රමවේදයක් ශ්‍රමික සංගම් හරහා හැදුවා.

ගම්වල ශ්‍රමික සංගම් හරහා ව්‍යවසායකත්වය හදන්න, නිෂ්පාදන ආර්ථිකයට ඕන ස්වයං රැකියාවන් හදන්න, පුද්ගලයන් දැනුවත් කරන්න ඔවුන්ගේ පවුල්වල අය දැනුවත් කරන්න ක්‍රමවේදයක් අපි හැදුවා.

ලංකාව පුරා ශ්‍රමික සංගම් හදලා ඒ ශ්‍රමික සංගම් අතරින් තෝරා ගන්නා එක් අයෙකුට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂ මණ්ඩල තනතුරකුත් ලබා දෙන්න තීරණය කරලා තියෙනවා. මෙච්චර කාලයක් ශ්‍රමිකයක පැත්තේ කවුරුවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ හිටියේ නැහැ. මින් පස්සේ ශ්‍රමිකයා නියෝජනය කරන කෙනෙක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ අධ්‍යක්ෂක මණ්ඩලයේ ඉන්නවා.

ඒ වගේම අපි අලුත් කම්කරු නීතියක් ගේනවා. අපේ රටේ දැන් තියෙන කම්කරු නීතියේ තියෙන්නේ සුද්දා දමිළ ජනතාව ලංකාවට ගෙනාපු වෙලාවේ ඒ අය බලාගන්න හදපු කම්කරු නීතිය. එතනින් පස්සේ පොඩ්ඩ පොඩ්ඩ දියුණු වුණා මිසක් රටට ගැලපෙන කම්කරු නීතියක් හැදුවේ නෑ.

අවුරුදු දෙසීයකට විතර පස්සේ තමයි දැන් අපි අපේ රටට කම්කරු නීතියක් අලුතින්ම හදන්නේ. නව රැකීරක්ෂා පනත විදියට. අපි කම්කරු කියන වචනයත් පැත්තකට දාලා රැකීරක්ෂා පනත හදන්නයි යන්නේ.

අපි හැමදාම කම්කරුවෝ කම්කරුවෝ කියලා පල්ලෙහාට දාන්නේ නැතුව ඔහුව ශ්‍රමිකයෙක්, ස්මාර්ට් වැඩ්ඩෙක් කියන තැනට ගේන්න රැකීරක්ෂා පනත අපි ගේනවා.

ඒක දැනට තියෙන නීතිපතිතුමා ගාව. ළඟදිම පාර්ලිමේන්තුවට ගේන්න බලාපොරොත්තු වෙනවා.

අපේ රටේ ඉතිහාසයේ කවදත් රජයේ සේවකයෝ ගැන කතා කලා. පෞද්ගලික අංශයේ සේවකයෝ ගැන කතා කළා. හැබැයි කවදාවත් අපේ මාධ්‍යවේදියාගේ, ධීවර රැකියාවේ නිරතවෙන්නන්ගේ ETF/EPF ගැන පෙන්ෂන් එක ගැන කතා කරලා නැහැනෙ. ඔවුන්ගේ වෘත්තිය ගරුත්වය ගැන කතා කරල නෑ. ඔවුන් ගැන විධිමත් සමාජ ආරක්ෂණයක් නැහැ.

ත්‍රිරෝද රථ රියදුරා, බස් කොන්දොස්තරවරයා, බස් ඩ්‍රයිවර්, පාර අතු ගාන කෙනා මේ කාටවත් ගරුත්වයක් නැහැ. ලෝකේ අනිත් රටවල්වල මෙහෙම තත්ත්වයක් නැහැ. හැම වෘත්තියම සමානයි.

අපේ රටේ රාජ්‍ය සේවකයන්ට සහ පෞද්ගලික අංශයේ සේවකයන්ට විතරයි කම්කර දෙපාර්තමේන්තුවේ අයිතිය තියෙන්නේ. එයාලට විතරයි වෘත්තිය අයිතිය තියෙන්නේ. එයාලට විතරයි ETF/EPF, පෙන්ශන් තියෙන්නේ.

අපි ඒ තත්ත්වය වෙනස් කරලා මෙච්චර කල් වෘත්තීය ගරුත්වයක් නොතිබුණු සෑම ක්ෂේත්‍රයක්ම කම්කරු නීතිය යටතට ගන්න මම කටයුතු කළා. ඒ අනුව තමයි අලුත් රැකීරක්ෂා පනතට කොටසක් එක් කලා “ගරු සරු” කියලා අවිධිමත් ක්ෂේත්‍රයේ  රැකියාවන්ගේ නියුතු පුද්ගලයන්ගේ වෘත්තීය ගරුත්වය හදන වැඩපිළිවෙළක් ඒ.

මට මාධ්‍යවේදීන් ගොඩක් කිව්වා මේ ගැන බලන්න කියල. මේ ගැන වෙනසක් හදන්න කියලා. ඔවුන්ට වෘත්තිය සමිතියක් හදාගන්න අයිතිය දෙන්න කියලා. ඔවුන්ට කතා කරන්න අයිතිය දෙන්න කියලා. මොකද ද මාධ්‍යවේදීන්ට යවන නිවුස් එකටවත් සල්ලි ගෙවන්නේ නැහැනේ. මාධ්‍ය ආයතන මාධ්‍යවේදීන්ව ඕන ඕන විදිහට පාවිච්චි කරනවා.

හැබැයි මේ පනතෙදී අපි ඒ වගේ සියලු ක්ෂේත්‍ර අරගෙන එක එක විෂය ක්ෂේත්‍රවලට අදාළව දිස්ත්‍රික් මට්ටමින් හදාගත්ත කමිටු හරහා ජාතික මණ්ඩලයක් හදලා ඒ අයට අදාළව ඒ ඒ ක්ෂේත්‍රයන්ට අදාළව නිශ්චිත ප්‍රමිති හදලා අපි ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා.

අදාළ ක්ෂේත්‍රයේ අයම හදපු ප්‍රමිති අපි ගැසට් කරනවා. එහෙම කරලා අපි ඔබට බලය ලබා දෙනවා බලපත්‍ර ක්‍රමයක් හරහා. හැම වෘත්තියක්ම කරන්න බලපත්‍රයක් වැඩපිළිවෙළක් හදනවා.

අපේ රටේ දොස්තරවරුන්ට ඒ රැකියාව කරන්න බලපත්‍රයක් නැත්නම් බැහැ. ඉංජිනේරුවන්ට බලපත්‍රයක් නැත්නම් බැහැ. නීතිඥයන්ට බලපත්‍රයක් නැත්නම් බැහැ. හැබැයි ලංකාවේ බොහෝ ක්ෂේත්‍රවලට එහෙම බලපත්‍ර නැහැ ඕන කෙනෙක්ට ඕන වෘත්තියක් කරන්න පුළුවන්. එහෙම නෙමෙයි වයරින් කරන්න ඕනෙනම් වයරින් කරන්නත් බලපත්‍රයක් තියෙන්න ඕන. නැත්නම් කවුද වග කියන්නේ.

ත්‍රිවිල් රියදුරු රැකියාව කරන්න රියදුරු බලපත්‍රයක් තිබුණා කියලා හැමෝටම බැහැ. ඔහුට ත්‍රිරෝද රථ රියදුරු බරපත්‍රයක් තියෙන්න ඕන.

මොන රැකියාව කරන්නත් බලපත්‍රයක් ඕනෑ.අන්න ඒ ක්‍රමය අපි හඳුන්වා දෙනවා. අදාළ ශ්‍රමිකයන්ගේ වෘත්තිය ගරුත්වය හදන්න.

හැබැයි ඒක අපි නෙමෙයි දෙන්නේ. වෘත්තීය මණ්ඩලය විසින්. ඒ සඳහා ගරුසරු කියල වෙබ් අඩවියක් අපි හදල තියෙනව. ඒ වෙබ් අඩවියේ ඔබට ලියාපදිංචි වෙන්න පුළුවන්. ඒ වෙබ් අඩවිය හරහා ලංකාව ඉන්න සියලුම ක්ෂේත්‍රවල අයගේ තොරතුරු අපට එකතු වෙනවා. එම වෙබ් අඩවියට තම තමන්ගේ තොරතුරු ඇතුලත් කරාම තමන්ටම අනන්‍ය වූ qr එකක් ලැබෙනවා. වෘත්තීය ගරුත්වය හදන එක් අදියරක් ඒක.

දැනට අපි VUSL එකත් එක්ක කතා කරලා විදුලි කාර්මිකයන්ට අවශ්‍ය බලපත්‍ර දෙන්න කටයුතු කරනවා. ඊට අමතර ඉදිකිරීම් ක්ෂේත්‍රයේ අයට සීඩා එක හරහා බලපත්‍ර ලබා දෙනවා.

ලෝකෙ අනිත් රටවල්වල නම් අපි දකිනවා තණකොළ කපන කෙනත් එන්නේ වාහනෙන් කියලා. හැමතරාතිරකම දරුවො යන්නේ එක  ඉස්කෝලවල් වලට. හැබැයි ඒ තත්ත්වය අපේ රටේ නැහැ. එක වෙනස් කරන්න කවුරුවත් කල්පනා කෙනෙක් නැහැ. ඒවට විරුද්ධව පාරවල්වලට ගිහින් උද්ඝෝෂණ කරන මිසක් මේවා වෙනස් කරන්න කවුරුවත් කතා කළේ නැහැ.

system change එකක් ඉල්ලපු ජනතාව වෙනුවෙන් රටේ සිස්ටම් එක වෙනස් කරන්න රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා එක පියවරක් විදියට තමයි මේ සියලුම වැඩ කරන ජනතාවට ගරුත්වය ලබාදෙන්න කටයුතු කරන්නේ.

ETF/EPF සහ පෙන්ෂන් එකට හිමිකමක් නොතිබුණු සියලුම දෙනාට රටේ වැඩ කරන සියලු ජනතාවට ෆෙන්ෂන් එකක් ලබා දෙන ක්‍රමවේදය හඳුන්වා දෙන්න මම කටයුතු කළා.

ඒ අනුව ජනාධිපතිතුමා මට අවසරය ලබා දුන්නා මේ තත්ත්වය වෙනස් කරන්න ක්‍රමයක් හදන්න.මම මාස දෙකක් විතර ගත කරලා නිලධාරීන් කැඳවලා සාකච්ඡා කරලා රටට ගැලපෙන එක ක්‍රමයක්  සකස් කරලා. වියට්නාමය ඉංජිනේසියාව ඕස්ට්‍රේලියාවලියාව, ඉන්දියාව වැනි රටවල්වල ශ්‍රමිකයන් වෙනුවෙන් සමාජ ආරක්ෂණය දෙන්නෙ කොහොමද කියලා අපි බැලුවා. ඒ අනුව අපි යෝජනා කළා දැන් අපේ රටේ වැඩ කරන සියලු ජනතාවට EPF/ETF ඇතුළු අවුරුදු 55 සම්පූර්ණ වූ විට විශ්‍රාම වැටුපක් ලැබෙන සමාජ රක්ෂණ ක්‍රමවේදයක් සකස් කරන්න.

මේ යෝජනාව මේ සතියේ කැබිනට් එකට අනුමැතිය සඳහා න්‍යාය පුස්තකයට ඇතුළත් කරලා තියෙනවා. එය අපේ ජනතාව ලබපු ලොකු ජයග්‍රහණයක්.

මෙම සකස් වන වැඩපිළිවෙළත් එක්ක අපේ සියලුම වෘත්තිකයන්ට වැඩ කරන හැම පුද්ගලයෙකුටම අයිතියක් හම්බවෙනවා නව සමාජ ආරක්ෂණ ක්‍රමවේදයට බැඳෙන්න.

මෙහිදී වෛද්‍ය රක්ෂණ, අනතුරු රක්ෂණ හිමි වෙනවා. රැකියාව කරගෙන ඉද්දී රැකියාව අහිමි වුනොත් රස්සාව කරගන්න බැරි කාලෙට පඩි ගෙවන්න ක්‍රමවේදයක් සකස් කරනවා. මාතෘ දීමනාවන් ලබා දෙනවා. මේක අලුත් වෙනසක් විදිහටයි සලකන්නේ.

වැඩ පුළුවන්නම් සහතික නැත්නම්, සහතික දෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුමැතියක් ලැබුණා. ලංකාවේ ඕනම වැඩ කරන පුද්ගලයෙකුට රැකියාවක් කරන නමුත් සහතිකයක් නොමැති පුද්ගලයන්ට සහතික නිකුත් කරන්න පුළුවන්. රට යන්න, ඔහුගේ රැකියාවෙන් ඉහළට යන්න සහතිකයක් අවශ්‍ය වූ විට RPL ක්‍රමයට සහතිකය ලබා ලබාදෙන්න විදේශ සේවා නියුක්ති කාර්යාංශයට කැබිනට් අනුමැතිය ලැබුණා.

අපේ රටේ තියෙන්නේ ඉතාමත්ම පැරණි අධ්‍යාපන ක්‍රමයක්. නව ලෝකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමයක් නෙමේ තියෙන්නේ. ද්ගලයන් නෙමෙයි අපේ අධ්‍යාපන ක්‍රමය හරහා බිහිකරන්නේ. ඒක වෙනස් කරන්න අද අපට බැහැ. 1980 දී විතර රනිල් වික්‍රමසිංහ මහතා උත්සාහ ගන්න කොට අධ්‍යාපන ධවල පත්‍රිකා ගෙනල්ල කියලා ජේවීපී කාරයෝ පාරට බැහැලා මේක අකුලලා දැම්මා.

අපි දැන් ඒක වෙනස් කරගෙන යනවා හැබැයි අපට ක්ෂණිකව ඒ දේයින් ප්‍රතිඵල ගන්න බැහැ. දැන් ඉන්න තරුණයා ටික වෙනස් කරන්න ඕනේ. අන්න ඒ නිසා තමයි තරුණයන්ට නව අදහස් දීලා ගම්වල ස්මාර්ට් හදලා , smart you club හැම ගමකම ක්‍රියාත්මක කරලා ඒ අයට දිගින් දිගටම ඒ අයට දැනුවත් කිරීම ලබාදෙන්නේ.

ඔවුන්ට වෘත්තීය අධ්‍යාපනය ලබා දෙන්න ජනාධිපති අරමුදල හරහා අපි මුදල් වෙන් කරලා තියෙනවා. ඔවුන්ට ජනාධිපති අරමුදලේ වෙබ් අඩවියට ගිහිල්ලා ඔවුන්ගේ වෘත්තීය පුහුණුවට අදාල මුදල් යොමු කරගන්න ක්‍රමවේදය අපි සකස් කරලා තියෙනවා.

ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික සුද්දො දීලා යන වෙලාවේ බ්‍රිතාන්‍ය සමාගමක් කැමති වුණා මෙතන තෙල් ගබඩාවක් හදලා ව්‍යාපාර කටයුතු පටන් ගන්න. මේක අපේ සම්පත් කියලා ඒක දෙන්නේ නැතුව ඉඳලා අවසානයේ තෙල් වෙළදාම පිළිබඳ සම්පූර්ණ ඒකාධිකාරිය දැන් සිංගප්පූරුවේ. ලෝකයේ තෙල් පිළිබඳ ප්‍රධාන තීන්දු තීරණ ගන්නේ දැන් සිංගප්පූරුව. ඒ කාලේ සිංගප්පූරුවේ වරායක් වත් තිබුණේ නැහැ. අපට හැම සම්පතක්ම තිබුණත් අපට කරන්න තිබිච්ච දේ නැති කරගෙන දැන් සිංගප්පූරුවේ දියුණුව බලාගෙන අපි ඉන්නවා.

ලෝකය දියුණු රටක් බවට පත්කරන්න තිබුණ අවස්ථාව අපට නැති උනා. අපේ තෙල් ටැංකි ටික ඒ කාලයේ ආයෝජනය කරන්න අවස්ථාව ලබා නොදුන් නිසා. අන්තිමට මළකඩ කකා ඒවා දිරදෙන යනවා.

මේ වගේම තමයි අපේ රටේ ආර්ථිකයත් ඝාතනය කරල තියෙන්නෙ මේ කණ්ඩායම විසින්. මොනැශ් විශ්ව විද්‍යාලය අපේ රටේ හැදුව නම් තෙල් ව්‍යාපාරික ආයතනය අපේ රටේ හැදුනා නම් දියුණුවෙන්න තිබුණ අපේ රට විනාශ කරපු අය තමයි දැන් අර ඊලෝන් මාස්ක් වගේ පිරිසට ආර්ථික ඝාතකයෝ කියලා කියන්නේ.

ඒක තමයි හොඳම විහිළුව.

මාධ්‍යවේදියෙක් විදියට මමත් දන්නවා මාධ්‍යවේදියෝ කොයිතරම් අමාරුවෙන්ද කටයුතු කරන්න කියලා. මාධ්‍යයේ තියෙන අභියෝග මම දන්නවා.

විශේෂයෙන් විදේශ සේවා නියුක්ති විෂය ගත්තම විවිධ මූලාශ්‍ර වලින් තොරතුරු එනවා. කවුරු හරි කියනවා මාධ්‍යයෙන් වාර්තා කරනවා. පස්සෙ තමයි එළිවෙන්නේ ඒවා බොරු කියල.

පහුගිය දවසක පිටරට හාමුදු පුතා බිරිඳ දූෂණය කරා කියල ටීවී එකේ දැම්මා. බලන් යද්දි එහෙම කියල තියෙන බොරුවට. මොකද වන්දි ගන්න ඕන නිසා.

අපේ රටෙන් විදේශගතවුණු ශ්‍රමිකයන් ගණන ගත්තොත් මිලියන ගණනක්. එකක් දෙකක් වාර්තා වෙනවා රට ගිහින් කරදර ප්‍රශ්න වුණ ඒවා.

දැන් මාධ්‍ය සමාජයේ මුර බල්ලෙක් වෙලා වැඩක් නෑ. සමාජයේ පෙර ගමන්කරුවෙක් වෙන්න ඕනේ. මුර බල්ලෙක් විදියට බුරල බුරලා වැඩක් නැහැ. පෙර ගමන්කරුවෙක් විදිහට සමාජයට පාර පාර කියන්න ඕන.

රට දිනවන ගමනට මාධ්‍යයේ සහයෝගය ඕන. එතනදි අපි සැබෑ දේ මාධ්‍යයෙන් හුවමාරු කරගන්න ඕන. මේ රටේ දැනට පිටරට ගිය අයගේ පවුල්වලින් ලක්ෂ ගණනක් සාර්ථකයි. එකක් දෙකක් තමයි කඩාගෙන වැටිලා තියෙන්නේ. හැබැයි බහුතර ව්‍යාපාරිකයෝ වෙලා. සාර්ථකත්වය ළඟා කරගෙන තියෙනවා.

හැබැයි ඒවා එකකටවත් මාධ්‍යයේ ඉඩ හම්බවෙන්නේ නැහැ. මොකද රේටින්ග්ස් නැහැ ඒවට. මේවා දැම්මට කවුරුවත් බලන්නේ නැහැ. මාධ්‍ය නෙගටිව් දේවල් දැම්මොත් විතරයි බලන්නේ. පොසිටිව් දේවල් දැම්මට බලන්නේ නැහැ. අපේ මනස හැදිල තියෙන්නෙම නෙගටිව් දේවල් දකින්න. හොඳ ලස්සන දේවල් දකින්න අපි ආස නැහැ.

හොඳ දේවල් කියන්න ඒ නිසා මාධ්‍ය ඉඩක් වෙන් වෙන්නේ නැහැ. නිසා මම තීන්දු කළා ගුවන් විදුලියේ, පත්තරවල රූපවාහිනියේ, ගුවන් කාලය, ඉඩ අපි වෙන් කරගෙන තියෙනවා මේ දේවල් ජනගත කරන්න. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ විදේශගත වෙලා සාර්ථකත්වයට පත් වුන පුද්ගලයන් ගැන අපට එවන්න. ඒවා අපි මාධ්‍යයෙන් පබ්ලිෂ් කරනවා.

අපට එහෙම එවන එක නිව්ස් එකකට අපි රුපියල් දස දහසක් ගෙවනවා. tv news එකකට. ඔබට අමතර ආදායමකුත් මෙමගින් හොයාගන්න පුළුවන්. එමගින් මාධ්‍යවේදීන් බලාගන්න වැඩි පිළිවෙලක් ක්‍රියාත්මක කරන්නත් අපට පුළුවන් වෙනවා. ඒ වගේම ගම්වල ඉන්න විදෙස්ගත ශ්‍රමිකයන් විදිහට ඉඳලා සාර්ථක වන පුද්ගලයන්ගේ කතා ටික අපි මාධ්‍යයෙන් කියලා පොසිටිව් ශ්‍රී ලංකාවක් නිර්මාණය කරගන්න පුළුවන් වෙනවා.”

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!