වෙලදපොලේ සහල් වැඩිමිලට අලෙවිකරණ සහ සගවතබන වෙළදුන් සොයා දිවයිනේ සියලුම දිස්ත්‍රික්කවලට අනුයුක්ත විමර්ශන නිලධාරීන් විසින් සිදුකරන වැටලීම්වලට අමතරව ඔවුන්ගේ සහයට විශේෂ කණ්ඩායම්ද යොදවා සිදුකරන වැටලීම්ද අඛණ්ඩවම තවදුරටත් ක්‍රියාත්මක කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය සදහන් කරයි.
පසුගිය කාලසීමාව තුල එවැනි වැටලීම් ගාල්ල, මාතර, හම්බන්තොට, කොලඹ, රත්නපුර, කුරුණෑගල, මහනුවර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල සිදුකරන ලද අතර වැඩි මිලට සහල් අලෙවිකරනු ලබන බවට වාර්තා වන සහ පැමිණිලි ලැබෙන ප්‍රදේශවලට විශේෂ කණ්ඩායමද යෙදවීමට කටයුතු කර ඇතැයි එම අධිකාරිය සදහන් කරයි.
පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් ඊයේ (11) දින කුරුණෑගල දිස්ත්‍රික්කයේ විශේෂ කණ්ඩායම් යොදවා සිදුකරන ලද වැටලීම්වලදී සහල් සම්බන්ධව වැටලීම් 40 ක් පමණ සිදුකරන ලදී. කුලියාපිටිය, නාරම්මල, ගිරිඋල්ල, මාවතගම, පොල්ගහවෙල, අලව්ව, උහුමිය, නාරම්මල, නිකවැරටිය, කොබෙයිගනේ , හෙට්ටිපොල, ගල්ගමුව, අබන්පොල, දළදාගම සහ මහව යන ප්‍රදේශවල මෙම වැටලීම් සිදුකරන ලද අතර එහිදී ආනයනික සම්බා සහල් රුපියල් 280 ට සහ දේශීය කීරි සම්බා රුපියල් 270 වැනි මිල ගණන්වලට අලෙවිකරණ ලද වෙළදුන්ද වැටලීම්වලට ලක්විය.
පුද්ගලික සමාගමක්ද ඇතුළුව අදාල සියලුම වෙළදුන්ට එරෙහිව ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත අතර සහල් වැඩි මිලට අලෙවිකිරිමකදී අධිකරණයේ නඩු පැවරීමකින් පසුව වරදකරු වුවහොත් පාරිබෝගික කටයුතු පිළිබද අධිකාරිය පනත යටතේ නියමකළ හැකි අවම දඩය රුපියල් ලක්ෂයක් වේ. එමෙන්ම මස 6 ක සිර දඩුවම්ද ලබාදියහැකි අතර එසේ නොමැතිනම් ඉහත දඩ මුදල සහ සිර දඩුවම යන දෙකම ලබාදීමටද පනත යටතේ හැකියාවක් ඇත.
එමෙන්ම සහල් සගවතැබීම සම්බන්ධව සිදුකරන වටලීම්ද තවදුරටත් ක්‍රියාත්මක වන අතර පසුගිය 10 දින පිටකොටුව ප්‍රදේශයේ සිදුකරන ලද එවැනි වැටලීමකදී සගවා තබන ලද කීරි සම්බා කිලෝග්‍රෑම් 5 අසුරන 3000 ක්ද නිලධාරීන් විසින් තම භාරයට ගෙන වැටලීම් සිදුකර නඩු පවරා ඇත. ඒ අනුව සහල් විකිණීම ප්‍රතික්ෂේප කිරීම හෝ සගවාතබගැනීම සිදු නොකරන ලෙසද වෙළදුන් දැනුවත් කරනු ලැබේ