ශතක මතක සමගින් ‘ආදරවන්තයින්ගේ සටන’ ජය පැරදුමෙන් තොරයි

ගාල්ල මහින්ද විද්‍යාලය සහ ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය අතර පැවති 119වන ‘ආදරවන්තයින්ගේ සටන’ ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

එහිදී මහින්ද විද්‍යාලය පළමු ඉනිම සඳහා ලබාගත් ලකුණු සංඛ්‍යාව 169ක්. රිච්මන්ඩ් විද්‍යාලය සිය පළමු ඉනිම සඳහා කඩුලු 6ක් දැවී ලකුණු 270ක් ලබා සිටියදී ඉනිම අවසන් කර මහින්ද විද්‍යාලයට දෙවන ඉනිම සඳහා අවස්ථාව ලබා දුන්නා.

එහිදී චෙහාන් සුබසිංහ ලකුණු 100ක් ද නායක මල්ශ තරුපති ලකුණු 111ක් ලබාගැනීමට සමත්වුණා.

ඉන් අනතුරුව සිය දෙවන ඉනිම ක්‍රීඩා කළ මහින්ද ක්‍රීඩකයන් තරගය නිමාවන විට කඩුලු 3ක් පමණක් දැවී ලකුණු 206ක් ලබා සිටියා.

එහිදී මහින්දය වෙනුවෙන් අනගි ඉනිමක නිරතවූ නායක දිනුර කලුපහන පන්දු 145ක දී හතරේ පහර 16 සමග ලකුණු 124ක් ලබා ගත්තා.

තරගයේ වීරයා ලෙස රිච්මන්ඩ් විද්‍යාලයේ මල්ශ තරුපති ද හොඳම පන්දු යවන්නා ලෙස එම විද්‍යාලයේම කවිෂ ඉඳුවර ද හොඳම පිතිකරු ලෙස එම විද්‍යාලයේ චෙහාන් සුබසිංහ ද මෙහිදී ඇගයීමට ලක් වුණා.

රිච්මන් කණ්ඩායම ශ්‍රී ලංකා 19 පහළ කණ්ඩායමේ උප නායක මල්ශ තරුපති මෙහෙයවනු ලැබූ අතර මහින්ද විද්‍යාලයීය කණ්ඩායම මෙහෙයවන ලද්දේ යොවුන් ලෝක කුසලානයේ කැපී පෙනෙන දස්කම් පෑ ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක දිනුර කලුපහනයි.

දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් ජාතික කණ්ඩායමට දායාද කළ දකුණුලක ප්‍රධානතම විද්‍යාල ද්විත්වයක් වන ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය සහ ගාල්ල මහින්ද විද්‍යාලය අතර මෙම තරගය ඇරඹුණේ 1905 වසරේදී.

මෙම මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ මහින්ද විද්‍යාලය 2008 වසරේ රජිත ප්‍රියාන්ගේ නායකත්වයෙන් අවසන් වරට ජය ලැබූ අතර, 2019 වසරේදී තවීෂ අභිෂේක්ගේ නායකත්වයෙන් යුතුව රිච්මන්ඩ් විද්‍යාලය අවසන් වරට ජය ලබා තිබෙනවා.

මෙවැනි පුවත් එසැනින් දැනගන්න 👇
අපගේ WhatsApp Channel එකට එකතුවෙන්න!