වෛද්‍ය වර්ජනයට හේතු සහ විසඳුම්

GMOA සහ රජය අතර යුද්ධය පටන් ගත්තේ කවුරුද යන්න විමසීමේදි එය පටන් ගත්තේ රජය බව පැහැඳිළිව පෙනෙයි . නිදාගෙන සිටි GMOA එක රජය කොනිත්තා ඇහැරුවූයේ  වෛද්‍ය පත්වීම් සහ ස්ථාන මාරු වල වෙනසක් කරන්නට යාමෙනි. රජය කියන පරිදි මේ ස්ථාන මාරු ක්‍රමයේ වෙනස් කම් කිරීමට හේතු මොනවාද .

GMOA නිලධාරීන්ගේ සහ ඒ අයගේ නෑදෑ හිතවතුන්ගේ සිතැඟි පරිදි ඒ අයට අවශ්‍ය ස්ථානවල වසර ගණන් රැඳී සිටිමින් සියලු පහසුකම් ලබමින් අනෙක් සාමාජිකයන් වෙනුවෙන් පෙනී නොසිටීම රජය අසාධාරණයක් ලෙස සිතීම .

මෙයින් රජයට සිදුවන හානිය කුමක්ද .

රජයට සිදුවන හානියක් නොපෙනේ.  නමුත් GMOA සාමාජිකයන් අතර නම් කලකිරීමක් හට ගෙන ඔවුන් එයින් ඉවත්වී  වෙනත් වෛද්‍ය සංගම්වල පිහිට පතමින් යති.නමුත් රජයට තම දේශපාලන ලියුම් වලින් වෛද්‍ය මාරු වෙනස් කර ගැනීමට නොහැකි වීම ගැන පසුතැවිල්ලක් තිබීමට ඉඩ ඇත.

GMOA එක මේ මාරුවීම් ක්‍රමයේ වෙනස්කම් වලට විරුද්ධ ඇයි.

සමහරවිට රජය කියන පරිදි බොහෝ නිලධාරීන් සිය පුද්ගලික වාසි ලබා ගැනීම විය හැක.
නමුත් දුෂ්කර පෙදෙස් වලට පශ්චාත් සීමාවාසික වෛද්‍යවරු යවා වසර දෙකක් එතැන රැඳී සිටීමට සැලැස්වීම නිසා අනිකුත් වෘත්තීන් වලදී මෙවැනි අවස්ථාවක දේශපාලන මැදිහත්වීම් වලින් ස්ථාන මාරු වෙනස් කම් කර ගැනීමට උත්සාහ දරන ක්‍රමයට වෛද්‍ය මාරුවීම්ද කර ගත හැකි වුවොත් දැනට සිදුවී ඇති පරිදි  දුෂ්කර පළාත්වල කුඩා රෝහල් සිය ගණනක් වෛද්‍ය වරු නැතිකමට වැසීගෙන යාම ජාතික අපරාධයක් වනු ඇත .

එමෙන්ම එම දුෂ්කර ප්‍රදේශවලට පත්වීම් ලබන වෛද්‍යවරු රජයෙන් අස්වී එයට වඩා වාසිදායක  නගරාසන්න ප්‍රදේශයක පුද්ගලික වෛද්‍ය සේවයේ යෙදීමට හෝ විදේශ ගත වීමට පෙළඹීම නිසා මෙරට වෛද්‍ය හිඟය තවත් උග්‍රවේ.

සටන් නැවැත්වීමට GMOA පැත්තෙන් රජයෙන් ඉල්ලා සිටිය හැකි ඉල්ලීම් මොනවාද

1.දුෂ්කර පෙදෙස් වල සේවය පෙර පරිදි තිබෙන්නට හැරීම හෝ පහත විස්තර කර ඇති පරිදි නියම දුෂ්කර ප්‍රදේශ තෝරා ගැනීම. එයින් තම සාමාජික වෛද්‍යවරු මුහුණපාන අපහසුතා අවම කර ගැනීමට හැකිවේ.

  1. වෛද්‍ය ස්ථානමාරුවීම් වලට දේශපාලනික බලපෑම් ඇති නොවන බවට රජය සහතික වන ප්‍රකාශයක් නිකුත් කිරීම. මෙයින් GMOA ඉල්ලීම් ලැබෙන අතර ඔවුන්ගේද, රජයේද ආත්මාභිමානය සහ ගෞරවය රැකේ.

සටන දිගටම ගියොත් GMOA එක පාවිච්චි කළ හැකි එය සතු බර අවි මොනවාද

දැනට බාහිර රෝගීන් සඳහා පමණක් නවතා ඇති ප්‍රතිකාර, ක්‍රමක්‍රමයෙන් හදිසි අනතුරු අංශ, දැඩි සත්කාර ඒකක, සූතිකාගාර, ශල්‍යාගාර, ළමා රෝග ඒකක, පිලිකා රෝග ඒකක, ලය රෝහල්,කුඩා රෝහල් ඇතුළු සියලුම ප්‍රතිකාර වලින් රජය ප්‍රතිචාර දක්වන තුරු ක්‍රමයෙන් ඉවත්වීම.

සටන දිගටම ගියොත් පාවිච්චි කිරීමට රජය සතු බර අවි මොනවාද?

රජයේ සේවයෙන් වෛද්‍යවරු සේවය හැර ගියා සේ සලකා වෛද්‍ය වරු අස් කිරීම.
විදෙස් වෛද්‍යවරු ගෙන්වීම , විශ්‍රාමික වෛද්‍යවරු යෙදවීම හෝ  හමුදා ශ්‍රම බලකාය යෙදවීම.

මෙයින් ජනතාවට සේවය සැලසී දැනට පවතින තත්වයෙන් රටේ සෞඛ්‍ය සේවය පවත්වා ගැනීමට හැකිවේද

එය අවිනිශ්චිතය. GMOA සතුව ඉතා විශාල වෛද්‍ය පිරිසක් සිටින නිසාත් ඒ අතුරින් විශේෂඥ වෛද්‍ය පිරිසත් වැඩි නිසා රෝහල් වල දැනට සිදුවන රාජකාරි කිසිසේත්ම එලෙසම සාර්ථක ලෙස කරගැනීමට බැරි බව ස්ථිරය.

ප්‍රතිකාර පමාවේ, සැත්කම් කල් යයි,ඒවාට  දිගු පෝලිම් ඇතිවේ, රෝගීන් සහ මවුවරුන්ට දියුණු ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකි වීමෙන් ආබාධ, සංකූලතා සහ මරණ සංඛ්‍යාව ඉහල යාවි.

මේ සටන නිමා කිරීමට විසඳුම නැවත කියනවා නම්:

1.රජය පැත්තෙන්

වෛද්‍ය මාරු වීම් වලට දේශපාලනික මැදිහත්වීම් නොකරන බවට ප්‍රසිද්ධ සහතිකයක් දෙන්න

දුෂ්කර සේවයට සඳහා දැනට ඇති සහන එලෙසම නොදෙනවානම්, එම දුෂ්කර ප්‍රදේශ මොනවාද යන්න ගැන සියලු අදහස් විමසීමෙන් එකඟතාවයකට එන්න.

මන්ද වෛද්‍යවරු මුහුණපාන දුෂ්කරතා මොනවාදැයි කියා දන්නේ ඒවායේ සේවය කළ වෛද්‍යවරු පමනයි. GMOA එකවත් රජයවත් එය නොදනී. එනිසා එම පළාත්වල කුඩා සහ දුෂ්කර රෝහල් වල වෛද්‍යවරුන්ගෙන් ඒවා ගැන ලිඛිතව විමසා එම දුෂ්කර ප්‍රදේශ සාධාරණ කමිටුවකින් තෝරා ගන්නා බවට දැනට සහතිකයක් දෙන්න.

නැවතීමට නිල නිවාස, ජලය, විදුලිය, ගමනාගමනය ඇතුළු මූලික මනුෂ්‍ය පහසුකම් මෙන්ම,තමුන්ගේ ළමයින්ට අධ්‍යාපනය ලැබීමට ඇති පාසල්, පෞද්ගලික ටියුෂන්,ඒවාට දුර, බිරිඳ ගේ සේවා ස්ථානයට දුර, දේශගුණය, රෝහලේ ප්‍රතිකාර ලබා දීමට සිටින වෛද්‍ය , සාත්තු සේවක, ඖෂධවේදී සංඛ්‍යා, ඔවුන්ගේ නිල නිවාසද වෛද්‍යවරුන්ට වැදගත්ය.
මන්ද වෛද්‍යවරුන්ගේ සේවය කාර්යාලයේ සේවයක් නොව පැමිණෙන රෝගීන්ගේ ජීවිත බේරා ගැනීමයි. එසේ නොවෙතොත් කුපිත ජනතාව ඉදිරියේ ඔවුන්ගේ සහ ඔවුන්ගේ අඹු දරු ජීවිත අවදානමේය. මේ දිනවල ජනතාව වෛද්‍ය වරුන්ට කරමු කියන දඬුවම් වර්ග වල විස්තර මාධ්‍යවල කොමෙන්ට් වලින් බලා ගත හැක.

වසර 4 දුෂ්කර කඳුකරයේ රෝහලක එකම MBBS වෛද්‍යවරයා ලෙස, අතේ ඇඟිලි ගණනට අඩු සේවක පිරිසක් සමග , රුධිර බැංකු, පරීක්ෂණාගාර ,ඖෂධ, තබා රෝගියා මරණයට පෙර ලොකු රෝහලකට යවා ගන්න ක්‍රියා කාරී ගිලන්රථයක් නොමැතිව මා අසරණ වු වාර ගණන අනන්තය.

රෝගියෙකු මැරුණොත් මගේ අඹු දරුවන් ගෙවල්වල යවා මරණ බියෙන් සිටි අපට දැන් දුක වර්තමානයේ රටේ මහජනතාව මේවා නොදැන වෛද්‍යවරු සංහතියටම කරන අපහාස අසා සිටීමට සිදුවීම නිසයි,.

එක්කෝ GMOA එක මාධ්‍ය සාකච්ඡා තබා ජනතාවට සත්‍ය පැහැදිලි කළ යුතුයි. ඔවුන් රජය කියන පරිදි සැප විඳිනවා නම් ඒවා අත් හල යුතුයි. උගුරට හොරා බෙහෙත් කරන්න කාටත් බැරිය. එනිසා දෙපක්ෂයම තම මාන්නය ඉවත දමා අසරණ ජනතාවගේ ජීවිත බේරා ගැනීමට ප්‍රමුඛත්වය දෙන්න.

යම් ලෙසකින් දෙපැත්තම බර අවි පාවිච්චි කර අසරණ ජීවිත මරුවාට ගොදුරු වුවහොත්   එම නැති වූ  ජීවිත නැවත ඔවුන්ගේ ආදරණීයන්ට ලබා දීමට රජයටවත් GMOA එකටවත් නොහැකිය.

මතක තබා ගන්න ඒ ගොදුර බොහෝ විට ඔබේම මව, පියා, බිරිඳ, සැමියා, සොහොයුරන්, සොයුරියන් හෝ ඔබේම දූ  දරුවන්  විය හැක.

වෛද්‍ය ආර් එන් ජී රාජපක්ෂ