සයිබර් අපරාධ සහ මූල්‍ය වංචාවලට සම්බන්ධ බවට සැකකෙරෙන විදේශිකයන් 1,093 දෙනෙකු 2026 වසරේදී සිදුකරන ලද වැටලීම් 24 කදී අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය සමත්ව තිබේ.
‘රටම එකට’ ජාතික මෙහෙයුම පිළිබඳව දැනුවත් කිරීම සඳහා ඊයේ (13) පැවැති ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වූට්ලර් මේ බව අනාවරණය කළේය.
ඒ අනුව 2024 වසරේදී සිදුකළ වැටලීම් 26කදී විදේශිකයන් 573 දෙනෙකු සහ 2025 වසරේදී සිදුවීම් 02කදී විදේශිකයන් 26 දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
කෙසේවෙතත්, පසුගිය වසරවලට සාපේක්ෂව මෙම වසරේ (2026) අත්අඩංගුවට ගැනීමේ ප්‍රමාණය දැවැන්ත ලෙස ඉහළ ගොස් ඇති අතර, වැටලීම් 24 කදී පමණක් විදේශික සැකකරුවන් 1,093 දෙනෙකු පොලිස් භාරයට ගෙන තිබේ.
අත්අඩංගුවට ගන්නා ලද විදේශිකයන් සියලුදෙනා නැවත ඔවුන්ගේ මව් රටවල් වෙත පිටුවහල් කිරීම සඳහා වන නීතිමය කටයුතු මේ වන විට සක්‍රියව ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය .