මෙම වසරේ මුල් මාස නවය තුළ ශ්රී ලංකාවේ සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 13,612 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ පැවසීය . සභාපතිවරයා මේ බව පැවසූවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්ය හමුවකට එක්වෙමිනි .
ඒ අනුව, ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ වෙළෙඳ භාණ්ඩ අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10,761ක ආදායමක් ද, සේවා අපනයනයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2,850ක ආදායමක් ද උපයාගෙන තිබේ.
එමෙන්ම, ඉතිහාසයේ පළමු වරට 2026 සැප්තැම්බර් මාසයේදී මෙරට සමස්ත අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,691ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, එය 2025 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව17.2% ක වර්ධනයක් බවත් සභාපතිවරයා පෙන්වාදුන්නේය.
වැඩි දුරටත් අදහස් දක්වමින් සභාපති මංගල විජේසිංහ මෙසේ පැවසීය .
“ඉතිහාසයේ පළමු වතාවට සැප්තැම්බර් මාසයේදී අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,691ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය වසරේ සැප්තැම්බර් මාසය සමඟ සසඳන විට එය සියයට 17.2ක කැපීපෙනෙන වර්ධනයක්. එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1,385ක් ලෙස වාර්තා වී තිබෙනවා. එය පසුගිය වසරට සාපේක්ෂව 21.6% ක වර්ධනයක්. ඒ වගේම, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 306ක් ලෙස වාර්තා වෙනවා.
පසුගිය මාස නවයක කාලය තුළ, විශේෂයෙන්ම ජනවාරි සිට සැප්තැම්බර් දක්වා කාලය තුළ, ශ්රී ලංකාවේ සමස්ත අපනයන කාර්යසාධනය අමෙරිකානු ඩොලර් මිලියන 13,612ක මට්ටමකට ළඟා වී තිබෙනවා. එහිදී වෙළෙඳ භාණ්ඩ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,761ක් ලෙසත්, සේවා අංශයේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 2,850 ක් ලෙසත් වාර්තා වෙනවා.
විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදයේ බලපෑම තවමත් අපේ අපනයනකරුවන්ට දැනෙනවා. එම අර්බුදය හේතුවෙන් ප්රවාහන හා රක්ෂණ ගාස්තු ඉහළ යෑමත්, කලාපයේ රටවල අපනයන කටයුතු සම්බන්ධයෙන් පවතින ගැටලුකාරී තත්ත්වයත් නිසා අපේ අපනයනකරුවන් දැඩි දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. එම අර්බුද මධ්යයේ වුවද අපේ අපනයනකරුවන් අඛණ්ඩව දරන උත්සාහය අගය කළ යුතුයි. රටේ අපනයන ක්ෂේත්රයේ වර්ධනය සඳහා ඔවුන් ඉතා ඉහළ දායකත්වයක් ලබාදෙමින් සිටිනවා. මේ වසරේදී ශ්රී ලංකාවට අත්කර ගත හැකි ඉහළම ඉලක්කය වන අමෙරිකානු ඩොලර් බිලියන 18 ඉක්මවූ අපනයන ආදායමක් ලබාගැනීමට අපි උත්සාහ කරමින් සිටිනවා.”