ලෝක ආහාර අර්බුදයක් ලඟ එනවා . ඉන්දීය විදේශ කටයුතු ඇමති කියයි .

ඉදිරි මාස කිහිපය තුළ ලෝකය පුරා දැවැන්ත ආහාර අර්බුදයක් නිර්මාණය වීමේ අවදානමක් පවතින බව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය එස්. ජයශංකර් අනතුරු අඟවයි.

ආහාර නිෂ්පාදනය කරනා රටවල් ආරක්ෂක තොග පවත්වාගෙන යාම සඳහා ධාන්‍ය අපනයනය සීමා කිරීම, පොහොර හිඟය සහ ප්‍රබල එල් නිනෝ කාලගුණික තත්ත්වය සහ රටවල් කිහිපයක යුධ තත්ත්වය නිසා ජාත්‍යන්තර නැව් මාර්ග අවහිර වීම මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතු විය හැකි බව ඔහු පෙන්වා දෙයි.

ගෝලීය අභියෝග පිළිබඳව අදහස් දක්වමින් ජයශංකර් සඳහන් කළේ, ප්‍රධාන වශයෙන් ධාන්‍ය අපනයනය කරන ඇතැම් රටවලට, විශේෂයෙන්ම කළු මුහුද කලාපය ඔස්සේ සිය සැපයුම් ප්‍රවාහනය කිරීමේදී බාධාවන්ට මුහුණ දීමට සිදුවිය හැකි බවයි. එමගින් ගෝලීය ආහාර සැපයුම කෙරෙහි තවදුරටත් දැඩි පීඩනයක් එල්ල වන බවද ඔහු පැවසීය.

එමෙන්ම, පොහොර සැපයුම සම්බන්ධයෙන් මතුවෙමින් පවතින ගැටලු පිළිබඳවද අවධානය යොමු කළ අමාත්‍යවරයා, රුසියාව සහ මැදපෙරදිග රටවල් ඇතුළු ප්‍රධාන පොහොර නිෂ්පාදකයන්ගේ නිෂ්පාදන කටයුතුවලටද බලපෑම් එල්ල වී ඇති බව සඳහන් කළේය.

මේ දිනවල ලෝකය මුහුණ දෙමින් සිටිනා එල් නිනෝ කාලගුණික තත්ත්වය සහ ඒ හේතුවෙන් ගෝලීය කාලගුණ තත්ත්වයේ සිදුවෙන වෙනස්කම් හේතුවෙන් ආහාර නිෂ්පාදනයට සහ සැපයුම් ජාලයට එල්ල වන අවදානම තවදුරටත් තීව්‍ර විය හැකි බවද ඔහු පෙන්වා දුන්නේය.