රන්වලගේ රිය අනතුර . මාස හයේ දරුවාට බරපතලයි . රෝහලේදී රන්වලට ඉහළ සැලකිළි

හිටපු කතානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා විසින් පදවන ලද ජීප් රථයක් ඊයේ රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් තුවාල ලැබූ මාස හයක් පමණ වයසැති කුඩා දරුවාගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ .

එවන් පසුබිමකදී අනතුර සිදු වී පැය ගණනක් ගතවන තුරු මන්ත්‍රීවරයා බීමතින් සිටියේ දැයි පරීක්ෂණයක් සිදු කර නැති බවත් දරුවාගේ පියා සහ ඥාතීහු පවසති.

අනතුරෙන් තුවාල ලැබූ මාස හයේ දරුවාගේ හිසේ පිටුපස අඹ ගෙඩියක තරම් ලොකු ගෙඩියක් ඇති වී ඇති බව දරුවාගේ පියා සඳහන් කරයි. දරුවා මේ වන විට අඬන බවත්, කිරි නොබොන බවත්, හිසේ ඇති වූ ඉදිමුම තවමත් බැස නැති බවත් ඔහු සඳහන් කරයි .

ඊට අමතරව තම මවගේ කකුල ස්ථාන දෙකකින් කැඩී ඇති බවත්, මව සහ බිරිද මේ වන විට ජාතික රෝහලට ඇතුළත් කර, ශල්‍යකර්ම සඳහා සූදානම් කර ඇති බවත් ඔහු කියයි.

දරුවාගේ පියා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මන්ත්‍රී අශෝක රන්වල මහතා තමා හමුවීමට පැමිණ “මගේ අතින් වරදක් වුණා, මට සමා වෙන්න” යැයි පැවසූ බවයි.

“ළමයට මාස හයයිනේ. ඇක්සිඩන්ට් ඒකක්නේ ගණන් ගන්න දෙයක් නෑ” යැයි වෛද්‍යවරයෙක් වූ අශෝක රන්වලගේ පුතා පැවසූ බවද ඔහු පැවසීය .

අනතුර ඊයේ සිදුවුවද අද වනතුරුත් මන්ත්‍රීවරයා බීමතින් සිටියේද යන්න පිළිබඳව පරීක්ෂණයක් කර නැති බවට ඔහු චෝදනා කරයි. අනතුර පස්වරු 7 ට පමණ සිදුවුවද ඉන් පැය කිහිපයකට පසු අශෝක රන්වල මධ්‍යම රාත්‍රී 12 ට පමණ රෝහලට පැමිණ ඇති බව ඔහු පවසයි . තම රුධිර පීඩනය වැඩි වී ඇතැයි පවසමින් රෝහල්ගත වී ඇති බවත් ඔහු රෝද පුටුවකින් රෝහල තුළට ගිය බවත් දරුවාගේ පවසයි .

තුවාල ලැබූ දරුවාගේ මව සහ ආච්චි ජාතික රෝහලේදී ට්‍රොලි දෙකක සිටියදී, ඔවුන්ගේ ඥාතීන්ට ඇතුළට යාමට ඉඩ නොදුන් බව දරුවාගේ ඥාතීන් කියා සිටියි. එහෙත්, මන්ත්‍රීවරයාගේ ආධාරකරුවන් වාහන කෙළින්ම රෝහල ඇතුළට ගෙන ගිය බවට ඔවුන් චෝදනා කරයි.

පියා සහ ඥාතීන් පවසන්නේ තමන්ට රෝහල තුළට යාමට නොදුන් අවස්ථාවලදී පවා ඔවුන්ට පහසුවෙන් රෝහල තුළට ඇතුළු වීමට ඉඩ ලැබුණු බවයි