අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් ඉඩමක් නීතිවිරෝධී ලෙස ‘මෙට්රෝ’ බස් රථගාලක් සඳහා යොදාගත් බවට කියන සිද්ධියක් සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් යන දෙදෙනා චෝදනා එල්ලව ඇත . මෙකී චෝදනාව විමර්ෂණය කිරීම සඳහා අතුරුගිරිය පොලිසිය විසින් එම දෙදෙනා අද දින පොලිසියට කැඳවා තිබේ.
එම දෙදෙනා අදාළ භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවට නිවාස සංකීර්ණයේ පාලනාධිකාරිය කළ පැමිණිල්ලකට අනුව මෙම කැඳවීම කර ඇතිබව වාර්තා වේ . පැමිණිල්ල කර දින පහකට ආසන්න ගණනක් ගෙවී ගියද පොලිසිය ඊට පියවර ගෙන පැමිණිළි පාර්ශවය චෝදනා කරයි .
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් ප්රධානත්වයෙන් අතුරුගිරිය ‘මෙට්රෝ’ බස් රථගාල ඉකුත් සැප්තැම්බර් 29 වනදා විවෘත කෙරුන අතර ඊට අදාල භූමිය සැකසීම ඉකුත් 26 වනදා සිදු කෙරිණි.
එලෙස මෙට්රෝ බස් රථ ගාලක් සඳහා අල්ලාගෙන ඇත්තේ අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයට අයත් පර්චස් 100 ක භූමි ප්රමාණයක් බවත්, අදාළ පිරිස විසින් එම භූමිය බලහත්කාරයෙන් අත්පත් කරගෙන ඇති බවත් නිවාස සංකීර්ණ පාලනාධිකාරිය චෝදනා කරයි . අනතුරුව පාලනාධිකාරිය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණි.
ඊට අදාළව ඊයේ (30) දිනයේදී ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්රී අසිත නිරෝෂණ සහ කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් අතුරුගිරිය පොලිසිය හමුවට කැඳවා තිබේ.