මහ බැංකුවේ වැඩි පඩි ගෙවන්න කෝටි 23ක්

මහ බැංකු කාර්ය මණ්ඩල වැටුප සියයට හැත්තෑකින් වැඩි කර ගැනීම නිසා මාසිකව දැරීමට සිදුවන අමතර මුදල රුපියල් විසි තුන්කෝටි විසි ලක්ෂයක් බව පාර්ලිමේන්තුවේ ඊයේ (05) පැවති පක්ෂ නායක රැස්වීමේ දී අනාවරණය වුණා.

සෑම වර්ෂ තුනකට වතාවක් වෘත්තීය සමිති සහ කළමනාකාරීත්වය අතර සාමූහික ගිවිසුමකට අනුව මෙම වැටුප් වැඩිකර ඇති බව මහ බැංකු නිලධාරීන් සඳහන් කර ඇතත්, එම ගිවිසුම සඳහා කම්කරු අමාත්‍යාංශයේ අනුමැතිය ලබා නොමැති බවත් මෙහි දී හෙළි වී වුණේ.

නව මහ බැංකු පනත් කෙටුම්පතෙහි ස්වාධීන තීරණයක් ලෙස, වැටුප් ඉහළ නැංවීම සඳහා ප්‍රතිපාදන තිබුණ ද ඒ සඳහා තුනෙන් දෙකක බහුතරයක් අවශ්‍ය බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කිරීම නිසා එය පනත් කෙටුම්පතෙන් ඉවත් කළ බව පක්ෂ නායකයෝ මෙහිදී පෙන්වා දුන් අතර නව පනතින් මහ බැංකුවේ කටයුතු ස්වාධීන කිරීම සඳහා ප්‍රතිපාදන තිබුණ ද කිසිදු තැනක ස්වාධීන තීරණය මත වැටුප් වැඩිකිරීම සඳහා අවස්ථාව නොමැති බවත් ඔවුහු එහි දී සඳහන් කළා.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිලධාරීන් ප්‍රකාශ කළේ, පනතේ 5, 8 සහ 23 වගන්ති අනුව ඒ සඳහා ප්‍රතිපාදන ඇති බවත්, පරිපාලනය, කළමනාකරණය සහ මෙහෙයුම් සම්බන්ධ සියලුම වියදම් පියවා ගැනීම සඳහා මහ බැංකුවේ අරමුදල් භාවිත කිරීමේ බලය ඇති බවයි.

එහෙත් පක්ෂ නායකයන් මෙහිදී පෙන්වා දුන්නේ වියදම් පිළිබඳ සඳහනක් පනතේ තිබුණ ද, වැටුප් පිළිබඳ නිශ්චිත ප්‍රතිපාදනයක් නොමැති බවයි.

තව ද, පනතේ 23 වගන්තියට අනුව වැටුප් වැඩි කර ගැනීම නිශ්චය කර ගැනීමට අයිතියක් තිබුණ ද අනුමැතිය සඳහා අවසන් බලය ඇත්තේ පාර්ලිමේන්තුවට බවත් පක්ෂ නායකයෝ එහි දී සඳහන් කළ අතර, ඊට ප්‍රතිචාර වශයෙන් නිලධාරීන් පවසා සිටියේ වැටුප් සඳහා වන වියදම් සිදු කරන්නේ මහ බැංකු අරමුදලින් මිස ඒකාබද්ධ අරමුදලින් නොවන බවයි.

එසේ ම මහ බැංකු අරමුදල් භාවිත කිරීමට බලතල පනත මගින් ලබා දී ඇති බවත් නිලධාරීහු එහි දී පෙන්වා දුන්නා.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පක්ෂ නායක රැස්වීමට මහ බැංකුවේ අධිපතිවරයා ඇතුළු උසස් නිලධාරීන් පිරිසක් ද වෘත්තීය සමිති නියෝජිතයෝ පිරිසක් ද සහභාගී වූ අතර, මෙම නිලධාරීන් පාර්ලිමේන්තුවට කැඳවා තිබුණේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මීට පෙර පැවති පක්ෂ නායක රැස්වීමේ දී කළ ඉල්ලීමකට අනුවයි.