පොලිසියට එරෙහිව තවත් අධිකරණ තීන්දුවක් .

යතුරුපැදියෙන් සිය ගොවිපළ කරා ගමන් කරමින් සිටි විවාහක දෙදරු පියකු කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් නොච්චියාගම පොලිසිය විසින් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීන්දු කළේය .

ඒ අනුව නොච්චියාගම හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පස්දෙනකුට ඔවුන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්‍ෂ නවයක වන්දියක් පෙත්සම්කාර ගොවියාට ගෙවන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනා ලදි .

නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ටී. එම්. ලක්‍ෂ්මන් තෙන්නකෝන් නමැති ගොවිපළහිමියකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කළ එස්. තුරෙයිරාජා, කුමුදුනි වික්‍රමසිංහ හා සම්පත් විජේරත්න යන විනිසුරු මඬුල්ල මෙම නියෝගය ලබා දුන්නා.

එවකට නොච්චියාගම පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්‍ෂක ජයතිලක, අනුරාධපුර කොට්ඨාස අපරාධ මර්දන කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ පොලිස් පරීක්‍ෂක ආර්. එම්. එස්. සී. රත්නායක, පොලිස් සැරයන් රත්නායක, පොලිස් සැරයන් අසේල හා පොලිස් කොස්තාපල් බණ්ඩාර යන නිලධාරීන්ට එලෙස අදාළ ගොවියාට වන්දි ගෙවීමට නියම කෙරුණා.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අරින්ද්‍ර සිල්වා මහතාගේ උපදෙස් පරිදි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටි අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ලක්මාලි කරුණානායක මෙනෙවිය නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියා