පොලිස්පති අනින් අම්බලන්ගොඩ පොලිස් පහර දීම ගැන පරීක්ෂණ

සමාජ මාධ්‍යයේ සංසරණය වන අම්බලන්ගොඩ පොලිසිය විසින් පුද්ගලයෙකුට අමානුෂික ලෙසින් පහර දෙන වීඩියෝව පිළිබඳව වහා පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි පොලිස්පතිවරයා උපදෙස් දි ඇතිබව වාර්තා වේ . එම වීඩියෝවේ කියවෙන පරිදි එම පුද්ගලයා හැඳුනුම්පතක් නැතිව සිටි බව පවසමින් අත් අඩංගුවට ගැනීමෙන් අනතුරුව අම්බලන්ගොඩ පොලිසියේ නිළධාරීන් කිහිප දෙනෙක් වීසින් ඔහුට පහර දී ඇත .

එහෙත් පොලිසිය පවසනුයේ එම පුද්ගලයා පසුගිය 24 වනදා රාත්‍රියේ බීමත්ව අශෝභන ලෙස මාර්ගයක සැරිසැරීම හේතුවෙන් අම්බලන්ගොඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව බවයි .

අත්අඩංගුවට ගැනීමේදී සැකකරු පොලිස් නිලධාරීන්ගෙන් මිදී පලා යාමට උත්සාහ කළ බවත්, එහිදී ඔහු ඇද වැටීමෙන් තුවාල සිදුවූ බවත්, එම තුවාලවලින් වෑහෙන රුධිරය අදාල වීඩියෝවේ දක්නට ලැබෙන බවත් පොලිසිය පවසයි .

පහර කෑ පුද්ගලයා බලපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂාවෙන් අනතුරුව බලපිටිය අතිරේක මහේස්ත්‍රාත්වරයා විසින් ඔහු ඇප මත මුදාහැරීමට නියෝග කර තිබෙනවා.