පාර්ලිමේන්තුව දිවුරුම්දීමත් සමග ඊශ්‍රායලයේ බල අරගලය උණුසුම් වෙයි .

ඊශ්‍රායලයේ නව පාර්ලිමේන්තුව දිවුරුම් දීමත් සමඟ නව රජයක් පිහිටුවීම සඳහා සිදුවෙමින් පවතින දේශපාලන අරගලය වඩාත් උණුසුම් වී තිබේ.

හිටපු හමුදා ප්‍රධානියකු වන විපක්ෂ නායක ගාඩි අයිසෙන්කොට් (Gadi Eisenkot) නව රජයක් පිහිටුවීම සඳහා ජනාධිපතිවරයාගේ ආරාධනය ලබාගෙන ඇති අතර, ඒ සඳහා ඔහුට දින 28 ක කාලයක් හිමිව තිබේ. මේ අතර හිටපු අගමැති බෙන්ජමින් නෙතනිනියාහුට සහය දක්වන සන්ධානය විසින් නව ජාතික සමගි රජයක් පිහිටවීමට යෝජනා කර ඇති බව විදෙස් මාධ්‍ය පවසයි .

ඊශ්‍රායල් පාර්ලිමේන්තුව ආසන 120 කින් සමන්විත වන අතර අයිසෙන්කොට්ගේ පක්ෂ සන්ධානයට ආසන 48ක් ද, බෙන්ජමින් නෙතන්යාහුගේ සන්ධානයට ආසන 53ක් ද හිමිව තිබේ. ඒ අනුව කිසිදු පාර්ශ්වයකට තනිව බහුතර බලයක් ලබාගැනීමට නොහැකිවීමෙන් උදාවී ඇති අවිනිස්චිත භාවය ඉදිරි සති දෙක තුළ තව දුරටත් උග්‍රවනු ඇතිබව වාර්තා වේ.

මෙහිදී ඊශ්‍රායලයේ අරාබි පක්ෂ දෙකක් ආසන 19 ක් දිනාගැනීම විශේෂත්වයකි. එම පක්ෂවල සහාය නව රජයක් පිහිටුවීමේදී තීරණාත්මක විය හැකි නමුත්, ඒ සම්බන්ධයෙන් අයිසෙන්කොට්ගේ සන්ධානය තුළද මතභේද පවතී.