ජනාධිපති අනුර කුමාර දිසානායක අද (01) සිය මහනුවර සංචාරය අතර තුර දළදා සමිඳුන් වැඳ පුදාගෙන උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත්තේය. අනතුරුව ජනාධිපතිවරයා, මල්වතු, අස්ගිරි මහා නා හිමිවරුන්ද බැහැදුටු බව වාර්තා වේ.
අද පෙරවරුවේ ඓතිහාසික දළදා මාළිගාව වෙත ගිය ජනාධිපතිවරයා දළදා සමිඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට සහභාගී වූ අතර උදා වූ නව වසරේ ඓතිහාසික දළදා සමිඳුන් වැඳ පුදා ගැනීමට පැමිණ සිටි ජනතාව සමඟ ද සුහද කතාබහක නිරත විය.
ඉන් අනතුරුව මල්වතු මහා විහාරය වෙත පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මල්වතු මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමිපාණන් වහන්සේ බැහැදැක සුවදුක් විමසා කෙටි පිළිසඳරක නිරත වුණි.
මල්වතු මහා විහාර පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත දර්ශනපති පූජ්‍ය මහවෙල රතනපාල නායක ස්වාමීන් වහන්සේද මෙම අවස්ථාවට වැඩම කර සිටී අතර උන්වහන්සේලා මෙහිදී සෙත් පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයා වෙත ආශීර්වාද පළ කළහ.